Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තරුණ කණ්ඩායම් දෙකක් ආසියානු පිටියට

තරුණ කණ්ඩායම් දෙකක් ආසියානු පිටියට

editorial - 2021 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක - ඩුබායි සිට)

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී හෙට සහ අනිද්දා (19-20) පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට පිටියට පිවිසෙති. අන්තර්ජාතික මට්ටමේ කීර්තියක් හිමි බෙන් ගොලින්ස්, ශ්‍රී ලංකාවේ රග්බි ක්ෂේත්‍රයේ සුප්‍රකට උපායශීලියකු සේ සැලකනෙ නිල්ෆර් ඊබ්‍රහිම් සහ සාලිය කුමාර යන මහත්වරුන්ගේ ගුරුහරුකම් යටතේ මෙම කණ්ඩායම් තරගාවලියට යති. 

ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ගුරුහරුකම් දෙන මේ තිදෙනා අත ඇත්තේ දුෂ්කර අභියෝගයකි. එනම් අත්දැකීම් අතින් අඩු, තරුණ කණ්ඩායමක් කලාපීය වශයෙන් තරගකාරී මට්ටමට ගෙන ඒමයි. 

කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රියව පවතී. එහෙත් කුඩා සත් සාමාජික තරගාවලි දෙකකට පසුව එකතු කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ජෛව බුබුළකට දමා පුහුණුවීම් කිරීමෙන් පසුව දැනට තෝරාගත හැකි හොඳම ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් පිරිස මෙම ආසියානු තරගාවලිය සඳහා තෝරාගනු ලැබ තිබේ. කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවද ඉහළ මට්ටමක  පවතින බව වාර්තා වේ.

එවන් කණ්ඩායම් දෙකක් හෙට (සිකුරාදා) සවස ඩුබායි හි ක්‍රීඩා සංකීර්ණයේ රග්බි පිටියට පිවිසෙන්නේ ආසියානු සත් සාමාජික තරගාවලියේ කඩයිම පැන ලබන වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ලෝක රග්බි සත් සාමාජික තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අටියෙනි. ලෝක සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වෙන්නේ කේප් ටවුන් නුවරදීය. 

“මෙතන ඉන්නේ දැනට අපට ශ්‍රී ලංකාවෙන් හොයාගන්න පුළුවන් හොඳම ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන්. ඒ ගොල්ලන් හොඳ සූදානමකින් ඉන්නවා. ඒත් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගකාරී රග්බි ක්‍රීඩාවක යෙදී නොතිබීම” 

“කොහොම වුණත් මේ කරපු පුහුණුවීම් වලින් සෑහෙන යමක් ලැබුණා” යයි තේරීම් කමිටු සාමාජිකයෙක් ‘ඬේලි මිරර්’ පුවත් පතට පවසා තිබිණ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු තරගය හෙට (සිකුරාදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.06 ට මලයාසියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. මෙම තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඇති හොඳම අවස්ථාවක් ලෙසින් සැලකේ. 

පිරිමි කණ්ඩායමේ පළමු තරගය පැවැත්වෙන්නේ හෙට පස්වරු 4.12 ටය. ජපන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය එතරම් පහසු එකක් නම් නොවේ. 

පස්වරු 5.54 ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චීන කාන්තා පිලට එරෙහිව තරග වදින අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මූලික වටයේ තරග අවසන් වන්නේ රාත්‍රී 9.21 ට හොං කොං පිලට එරෙහිව පැවැත්වෙන තරගයෙනි. 

තරගාවලියේ සත්කාරකයන් වන එක්සත් අරාබි එමිරේට්ස් පිලට එරෙහිව රාත්‍රී 7.44 ට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම රාත්‍රී 10.54 ට චීන කණ්ඩායම හමුවෙයි. එයින් මූලික වටයේ තරග අවසන් වනු ඇත. 

ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම 

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම 
 


අදහස් (0)

තරුණ කණ්ඩායම් දෙකක් ආසියානු පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.