Last Update  :  2025-07-04 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ජාම බේරා ගැනීමේ සටනක
ආසියානු රග්බි - 2025

එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ජාම බේරා ගැනීමේ සටනක

editorial - 2025 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභගි වන අවසන් තරගය අනිද්දා (4 වැනිදා) පස්වරු 4.00 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කොළඹ තුරඟ පිටියේදී පැවැත්වේ. මෙම තරගයට සහභාගි වන එක්සත් අරාබි එමීර් කණ්ඩායම අද (2 වැනිදා) දිවයිනට පැමිණෙන අතර හෙට (3 වැනිදා) කොළඹදී පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වදින දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර දෙරට අතර තරගයක් පැවැත්වී ඇත්තේ මීට වසර 14 කට පෙරාතුවය. 2011 වසරේ ආසියානු රග්බි ශූරතාවලියේදී පැවැති  එම තරගය ලකුණු 13-13 ක් ලෙස සමව නිමාවට පත්ව තිබේ. එය එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මංගල ජාත්‍යන්තර රග්බි තරගය ලෙසද සටහන් වේ. 

මේ වන විට ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට වඩා පියවර 3 ක් පහළින් 43 වැනි ස්ථානයේදී පසුවේ. මෙවර ආසියානු රග්බි ශූරතාවලිය යටතේ කොරියාවට එරෙහිව කොළඹදී පැවැති තරගය ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව හොං කොං රාජ්‍යය හමුවේ හොං කොංහිදී ලකුණු 78-07 ක දැවැන්ත පරාජයක් ලැබීය. 

මෙතෙක් සහභාගි වූ තරග 2 ම ප්‍රසාද ලකුණු 2 ක් සමග ජය ගෙන සිටින හොං කොං කණ්ඩායම ලකුණු 10 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. තරගයක් ජය ගෙන, තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 7 ක් ලබා සිටින දකුණු කොරියාව පසුවන්නේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේය. එහි තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රසාද ලකුණක් සමග ලකුණු 5 ක් ලබා සිටින්නේ එක් තරගයක් ජය ගෙන සෙසු තරගය පරාජය වෙමිනි. 

මෙතෙක් සහභාගි වූ තරග දෙකම පරාජයට පත් වුවද කොරියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 7 කට අඩු සංඛ්‍යාවකින් පරාජය වීමත්, උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගැනීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 2 ක් හිමිව තිබේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ලැබුවද ශ්‍රී ලංකාවට 2027 වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. 

මෙම තරගාවලියේදී ජයග්‍රහණයක් සඳහා ලබා දෙන ලකුණු සංඛ්‍යාව 4 බැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවේ මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ යනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ගමනේ ඉදිරියට යෑම සඳහා එම ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. 

සෙනසුරදා (5 වැනිදා) හොං කොං සහ දකුණු කොරියාව අතර ඉන්චෝන් නුවර පැවැත්වෙන තරගයේදී දකුණු කොරියාව ප්‍රසාද ලකුණු නොලබා පරාජයට පත්වුව හොත් පමණක් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවද තවදුටරත් 7 ක් ලෙසම පවතිනු ඇත. එවිට ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ ලකුණු සංඛ්‍යාවන් සමාන වන අතර සහභාගි වූ තරගවලදී ලබාගත් සහ ලබාදුන් ලකුණුවල පරතරය අඩුම කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වනු ඇත. 

ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගනිමින් ආසියානු ශූරතාවලිය ජයගන්නා කණ්ඩායම, ඍජුවම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ආසියානු ශූරතාවලියේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් තේරීම් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. 

දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවට කිසිදු අයුරකින් ආසියානු ශූරතාවලිය ජය ගැනීමට හැකියාවක් නොමැති අතර ඉහත කී පරිදි ලකුණු තත්වය අනුව දකුණු කොරියාව සමග සම වුවද, ලකුණු පරතරය අනුව දකුණු කොරියාව පසුපසට ඇද දමමින් ආසියානු ශූරතාවලියේ අනු ශූරයන් බවට පත්වීමට ඇති අවස්ථාවද ඉතා අල්පය. ඊට හේතුව මේ වන විට දකුණු කොරියාවේ ලකුණු පරතරය 2 ක් ලෙසත්, ශ්‍රී ලංකාව් ලකුණු පරතරය -75 ක් ලෙසත් පැවතීමය. 


අදහස් (0)

එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ජාම බේරා ගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.