Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මේජර් මිල්රෝයි අනුස්මරණ තරගය හෙට

මේජර් මිල්රෝයි අනුස්මරණ තරගය හෙට

ශනුක අරවින්ද - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩාලෝලීන්ගේ කළහකාරී හැසිරීම්, තරග විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී තීරණ, ක්‍රීඩකයන්ගේ විනය විරෝධි ක්‍රීඩා රටා වැනි උණුසුම් මතගැටුම් රැසක් නිසා ක්‍රීඩා ඇමැති නියෝගයෙන් පුරා සතියක්ම අත්හිටුවන ලද අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ තරග හෙට (2) ආරම්භ කෙරේ.

පළමු වටයේ සිටම අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රාජකීය විදුහල් කණ්ඩායම සහ සිවුවැනි තැන සිටින ඉසිපතන විදුහල් කණ්ඩායම අතර හෙට හැව්ලොක් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයෙන් මේ සති අන්තයේ තරගවටය ආරම්භ වෙයි.

රාජකීය - ඉසිපතන දෙවිදුහල් අතර මේ රග්බි ගැටුම ඔවුනොවුන් අතර වාර්ෂිකව හුවමාරු කරගන්නා මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය වෙනුවෙනි.

මෙරට පාසල් රග්බි පිටියේ ප්‍රකට කුසලානයක් වන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය වසර 1986 මුල් භාගයේ උතුරේ ජනවාර්ගික යුද ගැටුම් උත්සන්න වූ සමයේ ඕමන්තෙයි හී බිම් බෝම්බයකට හසුවී දිවි පිදූ යුද හමුදා මේජර් මිල්රෝයි ප්‍රනාන්දු මහතා සිහිපත් කිරීමට ඔහුගේ ආදරණිය පියාණන් වූ යුද හමුදා කර්නල් ඩඞ්ලි ප්‍රනාන්දු මහතා විසින් පරිත්‍යාග කරනු ලද්දකි.

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ සොහොයුරා වන හිටපු ප්‍රවීණ රග්බි විනිසුරු ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් සෑම වසරකදීම සිය සොයුරාගේ නමින් පිදෙන කුසලානය ජයග්‍රාහී කණ්ඩායම වෙත පිරිනමනු ලබයි.

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය පළමුවරට දිනාගැනීමට සමත්වූයේ මිල්රෝයි පවුලේ පාසල වන ඉසිපතනය වීම විශේෂත්වයකි. එවර රාජකීය විදුහල් පිල ලකුණු 11-9 කින් පරදවා කුසලානය දිනාගත් ඉසිපතනය මේ දක්වා වාර 15 කදී එම කුසලානය දිනාගනිමින් ඉදිරියෙන් පසුවෙයි. රාජකීය විදුහල් පිල පළමු වරට 1988 දී ලකුණු 24-9 කින් ඉසිපතනය පරදවා කුසලානය අත්කරගත් අතර මේ දක්වා අවස්ථා 9 කදී ඊට හිමිකම් කීවේය. තවත් වාර 4කදී තරග ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. වසර 1991, 1994, 1995 සහ 2007දී මේ කුසලානය වෙනුවෙන් තරගය නොපැවැත්විණි.

කුසලානය අතින් ඉසිපතනය ඉදිරියෙන් පසුවූවත් හෙට තරගයේදී නම් මෙවර තරගවාරයේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වී සිටින වින්ගර් ක්‍රීඩක සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීයයන්ගෙන් බුරුලක් නොලැබෙනු ඇත. අන්තිම වතාවට 2015දී මේ කුසලානයට හිමිකම් කී රාජකීයයෝ හෙට තරගයේදී නැවතත් එම අතට ගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති. එහෙත් ෆ්ලයිහාෆ් ක්‍රීඩක මනිල්ක රුබේරුගේ නායකත්වයෙන් සමන්විත ඉසිපතනයේ අරමුණ අන් දෙයකි.

රාජකීය විදුහල් පිල හැරුණු විට අපරාජිත එකම කණ්ඩායම වන ශාන්ත පීතර විදුහල් පිල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල අතර තරගයත් හෙට පස්වරුවේ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. පිටියේදී පැවැත්වෙයි. ඒ අතරම වෙස්ලි විදුහල් පිල සහ ත්‍රිත්ව විදුහල් පිල පල්ලෙැකලේදී හෙට තරගයට පිවිසෙන අතර සහිරා විදුහලට එරෙහිව කිංග්ස්වුඞ් විදුහල් පිල බෝගම්බරදී තරග වදින්නේ අනිද්දා (3) ය.


අදහස් (0)

මේජර් මිල්රෝයි අනුස්මරණ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.