Last Update  :  2025-05-06 16:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් රග්බි තරග ලබන සතියේ

පාසල් රග්බි තරග ලබන සතියේ

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි තරගාවලියේ පසුගියදා පැවැති තරග කිහිපයක් අතරතුර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීම ඇතුළු කොන්දේසි ගණනාවක් පනවමින් අත්හිටවු අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරිමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය දී තිබේ. සිකුරාදා පැවැති රැස්වීමකින් පසුව ඇමතිවරයා මෙම අවසරය දී ඇත.

පාසල් රග්බි තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ හෝ ඒ අවට මත්පැන් අලෙවිය තහනම් කිරීම, මත්පැන් පානය කර ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩ නොදීම ආදිය ඇමතිවරයා විසින් පනවන ලද තවත් කොන්දේසි කිහිපයකි. රග්බි ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්ව කැඳවමින් සිකුරාදා උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණගාරයේ පැවැති පැවැති රැස්වීමේදී අමාත්‍යවරයා මේ තීරණයට එළැඹියේය.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, ශ්‍රී ලංකා රග්බි ආයතනය, ශ්‍රී ලංකා රග්බි තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය, මෙවර තරගාවලියට ක්‍රීඩා කරන පාසල් 36 ක විදුහල්පතිවරුන් සහ ආදි සිසු සංගම් නියෝජනය කළ මේ විශේෂ රැස්වීමේදී පාසල් රග්බි තරගාවලිය ඉදිරියට පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා සිය අදහස් පළ කරමින් කොන්දේසිමාලාව ඉදිරිපත් කළේය.

ඉදිරි තරග සඳහා දැඩි විනයක් පවත්වාගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ආගන්තුක කණ්ඩායමට නිසි ආරක්ෂාව ලබාදීමට සත්කාරක විදුහල්වලට ඇති වගකීම පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

ඉදිරි තරග පැවැත්විමේදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන හාෆීල් මාසෝ මහතාගේ සහය ඇතිව සෑම පාර්ශ්වයක්ම කටයුතු කරන ලෙසත් දන්වා සිටියේය. සෑම පාර්ශ්වයකම අදහස් විමසමින් මේ කොන්දේසිමාලාව පැනැවූ ක්‍රීඩා අමාත්‍යවරයා පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන සඳුදා සිට නැවත පැවැත්වීමට අවසර ලබා දුන්නේය.

පසුගියදා පාසල් රග්බි පිටියේ සිදුවූ කළහකාරී සිදුවීම් ඇතුළත් වීඩියෝ දර්ශන නැරැඹූ අමාත්‍යවරයා රැස්වීමට එක්වී සිටි කොළඹ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් අදාළ සිදුවිම් පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග විමසා සිටියේය. සිදුවීම්වලට සම්බන්ධව පුද්ගලයන් පිළිබඳ වහාම පොලිසියට පැමිණිලි කර ඔවුන් නීතිය හමුවට පමුණුවන මෙන් අමාත්‍යවරයා සියලු පාර්ශ්වලට උපදෙස් දුන්නේ  ලැබෙන්නේ නම් ඊට නිසි ක්‍රියාමාර්ග ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දීමෙන් පසුවය.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති දෙකක් පුරා පැවැති තරග කිහිපයක් අතරතුර තරග විනිසුරුවන්ගේ ඇතැම් තීරණවලට විරෝධය පළ කරමින් ක්‍රීඩාලෝලීන් කළහකාරී ලෙස හැසිරීම් වාර්තාවීමත්, තරග තීරකවරුන්ට තර්ජනය කිරීම් හේතුවෙන් ඇතැම් පාසල් කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සඳහා තම සංගමයේ විනිසුරුවරුන් ලබා නොදීමට ශ්‍රී ලංකා රග්බි තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කළේය.

උද්ගතවූ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් සෑම පාර්ශ්වයක්ම එකඟතාවට පැමිණෙන තුරු මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලුම තරග අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබිණි.

 


අදහස් (0)

පාසල් රග්බි තරග ලබන සතියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.