Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජනාධිපති කුසලානය ඉසිපතනයට

ජනාධිපති කුසලානය ඉසිපතනයට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2014) ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අද (13) සමත් වූහ. කොළඹ රාජකීය විදුහලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 27-22 ක් ලෙස රාජකීය විදුහලට එරෙහිව තියුණු ජයක් ලැබීය.
මෙවර පිළිමඵන් පිටු දැකීමේ තරගාවලිය 31 වැනි වසරට පැවැති අතර ඉසිපතන විදුහල ශූරයන් වූ 14 වැනි අවස්ථාව මෙය වේ.

ඉසිපතන විදුහල මෙවර වයස 20 න් පහළ සත් සාමාජික, ලීග් සහ පිළිමඵන් පිටු දැකීමේ තරගාවලිය යන තරගාවලි ත‍්‍රිත්වය වසර 15 කට පසුව ජය ලැබීම කැපී පෙනේ. ඉසිපතන විදුහල තරගාවලි ත‍්‍රිත්වය ජය ලැබූ හයවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට 1999 වසරේ තරගාවලි ත‍්‍රිත්වය ජය ලබා සිටියේය.

අද පැවැති අවසන් තරගයේ පළමු අර්ධයේ 17 වැනි මින්ත්තුවේදී ඩිලාන් ගාල්ලගේ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-0 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණේ තබමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.

රාජකීය විදුහල් පිලේ නායක නිම්ෂාන් ජයවර්ධන 23 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමග ලකුණු පුවරුව 5-3 ක් බවට පත්විය.

මෙවර ඉසිපතන විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන ඔමල්ක ගුණරත්න 28 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම චතුර ඩිල්ෂාන් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු තත්ත්වය 12-3 ක් බවට පත්වෙමින් රාජකීය විදුහලට පීඩනය යොමු විය.

රාජකීය විදුහලේ ශයුකට් ලාහීර් 32 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමත් සමග ලකුණු තත්ත්වය 12-8 ක් බවට පත්වු අතර ලකුණු පුවරුව නොවෙනස්ව තිබියදී පළමු අර්ධය අවසන් විය.

රාජකීය විදුහල පළමු වරට පෙරමුණේ තැබූ නායක නිම්ෂාන් ජයවර්ධන දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කරමින් ලකුණු 15-12 ක් ලෙස ඉසිපතන විදුහල පසු පසට තල්ලූ කළේය.

චතුර ඩිල්ෂාන් 8 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව 15-15 ක් ලෙස සමවූ අතර නැවතත් ක‍්‍රියාත්මක වූ ඔමල්ක ගුණරත්න ගෝල කණු අතර පන්දුව පතිත කිරීමත් සමග ලකුණු 20-15 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණට ඇදුණේය.

මෙවර ලීග් ශූරයන්ට ප‍්‍රබල සටනක් දුන් රාජකීය විදුහල් පිලේ සුපුන් වර්ණකුලසූරිය 20 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට නිම්ෂාන් ජයවර්ධන අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමග ලකුණු 22-20 ක් ලෙස දෙවැනි වරට රාජකීය විදුහලට පෙරමුණ ගත්තේය.

ගමිදු දිසානායක 29 වැනි මිනිත්තුවේදී තීරණාත්මක උත්සාහක දිනුම ඉසිපතන විදුහලට එකතු කළ අතර චතුර ඩිල්ෂාන් එය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු තත්ත්වය 27-22 ක් බවට පත්විය.

තරගයේ අවසන් මිනිත්තු 11 තුළ දෙපිලම ලකුණු රැස්කිරීමට උත්සාහ කළ ද එම සියලූ උත්සාහයන් අසාර්ථක වෙමින් ඉසිපතන විදුහල තියුණු ජයක් හිමිවිය.


අදහස් (3)

ජනාධිපති කුසලානය ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.