ආසියානු දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් අවසන් පූර්ව තරගයට පෙරහුරුවක් කරගත් ශ්රී ලංකා කණ්ඩායම විසින් හොං කොං දේශය ලකුණු 71-48 ක් වශයෙන් පරාජය කරන ලදි. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්රීඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැත්විණ.
මෙම ජයත් සමගින් ශ්රී ලංකා කණ්ඩායම කුසලාන වටයේ සුපිරි කණ්ඩායම් හතර තුළ ප්රථම ස්ථානයට පත්විය.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිත අවසන් පූර්ව තරගය හෙට (08 වැනිදා) හොං කොං කණ්ඩායමට සමගින් පැවැත්වීමට නියමිතය. එම තරගය ශ්රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වේ.
දෙවැනි අවසන් පූර්ව තරගය සදහා මැලේසියාව සහ සිංගප්පූරුව තරග වදිති. එම තරගය හෙට (08දා) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. අද (07දා) තරගාවලියේ විවේකී දිනයයි.
ශ්රී ලංකාව සහ හොං කොං තරගයේ පළමු කාර්තුව ශ්රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම ජයග්රහණය කළේ ලකුණු 18-13 ක් වශයෙනි. එහිදී ශ්රී ලංකා කන්ඩායමේ ලකුණු යන්ත්රය වන හසිතා මෙන්ඩිස් දුලංගි වන්නිතිලක සමගින් එක්ව පන්දුව හුවමාරු කරමින් හොං කොං උපක්රමවලට හසු නොවී ලකුණු රැස් කිරීමට දායක වනු දැකගත හැකි විය.
ආසියාවේ උසම ක්රීඩිකාව වන තර්ජිනි සිවලිංගම්ගේ උස මනාව ප්රයෝජනයට ගත් ශ්රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්රීඩිකාවන් දෙවනි කාර්තුව නොසිතූ ලෙස වැඩි ලකුණු පරතරයකින් ජයගත්තේ පන්දුව ඉතා ඉක්මනින් තර්ජිනීට ලබාදෙමිනි. පිටියේ මැදපෙළ ක්රීඩිකාවන්ගේ වේගවත් බව නිසාම දෙවැනි කාර්තුව අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 39-25 ක් ලෙසිනි.
තෙවැනි කාර්තුවේදී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කළද ජයග්රාහී රිද්මය තවදුරටත් පවත්වා ගනිමින් එම කාර්තුවද ජය ගැනීමට ශ්රී ලංකාව සමත් විය. එම කාර්තුවේදී ශ්රී ලංකාව ලකුණු 15 ක් රැස් කරගනිද්දී හොං කොං කණ්ඩායම රැස් කළේ ලකුණු 10 ක් පමණි. තෙවැනි කාර්තුව නිමාවෙද්දී මුලු ලකුණු ප්රමාණය දැක්වුණේ 54-35 ක් වශයෙනි.
තරගයේ ජයග්රහණය ශ්රී ලංකා කණ්ඩායමට විවෘත කරදුන්නේ අත්දැකීම් සහිත ක්රීඩිකාවන් රාශියක් ශ්රී ලංකා කණ්ඩායම සතු වීම බව මෙහිදී කැපී පෙනුණි. විශේෂයෙන් ශ්රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, තර්ජිනී සිවලිංගම් සහ හසිතා මෙන්ඩිස් තම අත්දැකීම් මනාව උපයෝගි කර ගනිමින් ක්රීඩා කරන අයුරු දිස්වූහ.
සිව්වැනි කාර්තුවේදී ලකුණු ලබාගැනීම තවත් වේගවත් කළ ශ්රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගත්තේ මෙවර කුසලානයට ආසන්නතම කණ්ඩායම තමන් බව ඔප්පු කරමිනි. එම කාර්තුවේදී ශ්රී ලංකා ක්රීඩිකාවෝ ලකුණු 17ක් රැකරගනිද්දී හොං කොං කන්ඩායම ලකුණු 13 ක් රැස් කරගත්තේය.
සමස්ත තරගය නිමාවූයේ ලකුණු 71-48 ක් වශයෙන් ශ්රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි කර දෙමිනි.
ඊයේ පැවති අනෙකුත් තරගවලින් ඉන්දියාව ලකුණු 41-51 ක් ලෙස පරාජය කළ බෘනායිද ජපානය ලකුණු 27-62 ක් ලෙස පරාජය කළ තායිලන්තයද චීන තායිපේ ලකුණු 24-67 ක් ලෙස පරාජය කළ පාකිස්තානයද මාලදිවයින ලකුණු 44-50 ක් ලෙස පරාජය කළ පිලිපීනයද ඊළග වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තීරණය කල මැලේසියාව සහ සිංගප්පූරුව අතර තරගයෙන් ලකුණු 56-55 ක් ලෙස තියුණු තරගයකින් ජයගත්තේ සිංගප්පූරු කණ්ඩායමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.