
විශිෂ්ට තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේ සිලාත් නුවරදී අඟහරුවාදා (28 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත තරගාවලියේදී 1--0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකි විය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හර්ෂිතා සමරවික්‍රම විසිනි.
පන්දු 35 කින් ලකුණු 61 ක් ලබාගත් හර්ෂිතා, හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළාය. හර්ෂිතාට අනගි සහයෝගයක් දුන් ඉමේෂා දුලානි. පන්දු 40 කින් ලකුණු 55 ක් ලබාගත්තේ ඊට හතරේ පහර 7 ක් ඇතුළත් කරමිනි. ඔවුන් දෙදෙනාගේ අර්ධ ශතක වලින් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායිකා චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් වලින් කදිම සහයෝගයක් ලැබිණ. පන්දු 30 කින් ලකුණු 32 ක් ලබාගත් පළපුරුදු ශ්‍රී ලංකා නායිකාව, ලකුණු 19 කට කඩුලු 2 ක් ද දවාගත්තාය.
කාසියේ වාසිය අහිමි වීමෙන් ශ්‍රී ලංකා පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. ආරම්භක පිතිකාරිනී හසිනි පෙරේරා ඉක්මනින්ම දැවී ගිය නමුත්, මන්දගාමී ආරම්භයක් තිබියදීත්, චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි දෙදෙනා ඉනිම පාලනය කරගත්හ. අතපත්තු සහ දුලානි එක්ව පන්දු 32 කදී ලකුණු 42 ක් එකතු කළ අතර අතපත්තු පසුව සුල්තානා ඛාතුන්ගේ දෙවැනි කඩුල්ල බවට පත්වූවාය.
ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ට 161 ක් දක්වා ඉදිරියට ගෙන යාමට අඩිතාලම වූයේ දුලානි සහ සමරවික්‍රම අතර පැවැති සබඳතාවයි. සමරවික්‍රම 14 වැනි ඕවරයේදී සුල්තානා කාතූන්ට හයේ පහරකින් සංග්‍රහ කළ අතර ඉමේෂා දුලානි සිය අර්ධ ශතකය ලබාගත් විගසම ප්‍රවේගකාරී පිතිහරඹයකට පිවිසියාය.
ෆරීහා ට්රිස්නා යැවූ 18 වැනි ඕවරයේදී ඩීප් මිඩ් විකට් හරහා හතරේ පහරක් සහ හයේ පහරක් ගැසූ සමරවික්‍රම, ඊළඟ ඕවරයේ නහිදා අක්තාර්ගේ පන්දුවක් හතරේ සීමාවෙන් එපිටට යවමින් සිය අර්ධ ශතකය වාර්තා කළාය. අවසන් ඕවරයේ ලකුණු 12 ක් ලබා ගැනීමෙන්, තම කණ්ඩායම සුවපහසු ස්ථානයකට කැඳවාගෙන ඒමෙන් පසු, ඉනිමේ අවසන් පන්දුවේදී ඇය දැවී ගියාය.
බංග්ලාදේශයේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාගෙන්ද ඔවුන්ට වේගවත් ආරම්භයක් ලැබිණ. ඔව්හු පන්දු 21 කදී ලකුණු 39 ක් ලබා ගත් නමුත් සුවයිරියා ෆර්ඩෝස් ශ්‍රී ලංකා නායිකාවගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ගොදුරු විය. ආරම්භය සාර්ථක වූවත් බංග්ලාදේශයට එයින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ අතර එතැන් සිට තරගයේ පාලනය අතට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉක්මනින් කඩුලු දවා ගනිමින් සත්කාරකයන් අමාරුවේ දැමූහ.
කිසිවකු නොදැවී ලකුණු 39 ක් ලෙසින් සටහන් වූ බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 4 ට 44 ක් ලෙසින් වෙනස් වීමට ගතවූයේ පන්දු 12 ක් පමණි.
ෂෝර්නා අක්තාර් සහ ෂෝභනා මෝස්තාරි ලකුණු 39 ක සම්බන්ධතාවයක් සමඟින් කෙටි කාලයක් සඳහා සතුට ගෙන ආ නමුත් ඒ වන විට ලකුණු ලබා ගැනීමේ වේගය බොහෝ පහළ මට්ටමක තිබිණ. අතපත්තු විසින් එම සම්බන්ධතාව බිඳ දමන ලද්දේ කෞෂිනී නෘත්‍යංගනා කළ තවත් ස්ටම්ප් කිරීමකිනි.
ෂෝර්නා අක්තාර් හුදකලා සටනක් කළද, අපේක්ෂිත ලකුණු වේගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි. අනෙක් අන්තයෙන් ෂෝර්නාට වැඩි සහයෝගයක් නොලැබුණු අතර ඇය, පන්දු 45 කින් ලකුණු 60 ක් ලබා ගැනීමෙන් පසුව, ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියාය.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 4 ට 161 යි
(චමරි අතපත්තු 32, ඉමේෂා දුලානි 55 හර්ෂිතා සමරවික්‍රම 61, සුල්තානා ඛාතුන් 2/29)
බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 136 යි
(ඩිලාරා අක්තාර් 23, ජුවයිරිසා ෆර්ඩෝස් 16, ෂෝභනා මෝස්තරී 16, ෂෝර්නා අක්තාර් 60, මල්කි මදාරා 2/31, මිතාලි අයෝධ්‍යා 2/34, චමරි අතපත්තු 2/19)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.