Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කායවර්ධන තරගාවලියට කෝටි 20ක් සෙවීම අභියෝගයක්

ලෝක කායවර්ධන තරගාවලියට කෝටි 20ක් සෙවීම අභියෝගයක්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සභාපති ධුරයට ඊයේ (28) නිතරගයෙන් පත්වූ ව්‍යවසායක රන්දිර් රුද්‍රිගු මහතා පැවසුවේ කොළඹදී වසර 2025 දී පැවැත්වීමට සැලසුම් කර ඇති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට රුපියල් කෝටි 20ක් පමණ වන වියදම් සොයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇති බවයි.

එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය හා අනුග්‍රාහකයන්ද සම්බන්ධ කර ගනිමින් එය සාර්ථකව කොළඹදී පවත්වා අවසන් කිරීම සිය අභිප්‍රාය වන බවද ඔහු ඊයේ පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් පැවැසීය.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය (2024-28) ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි නිතරගයෙන් පත්වීමට ඉඩ සැලසීම සඳහා වත්මන් ලේකම් මිල්ටන් ද සිල්වා මහතා මෙවරත් ඒ සඳහා යොමුකර තිබූ නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය.

ඒ අනුව නව විධායක සභාවේ සියලු පත්වීම් නිතරගයෙන් පිරවීම සම්පූර්ණ විය. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ද වන නව සභාපති රන්දිර් රුද්‍රිගු මහතා නිලවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ ‘රන්දිර් රුද්‍රිගු පදනම’ අනුග්‍රහයෙන් ලබන අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකා ආයෝමය ශූරයා තේරීමේ තරගාවලිය වඩාත් උසස් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බවයි.

එහිදී ඔහු මෙසේද පැවසීය. ‘‘ශ්‍රී ලංකාව සත්කාරය දරන ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය රටවල් 65කගේ සහභාගිත්වයෙන් 2025 වසරේදී කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයත් සමග එක්වී සම්පූර්ණ කරන්නත් එම අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ වගේම මම මෙතෙක් රටේ කායවර්ධන ක්‍රීඩාවට ලබා දුන් අනුග්‍රහය තවත් වැඩි කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ඊයේ නිලවරණයට දිස්ත්‍රික් සංගම් 13ක නියෝජිතයෝ සහභාගි වී සිටියහ. එම එක් ඡන්ද ඒකකයක් සඳහා මනාප තුන බැගින් පළ කිරීමේ අවස්ථාව නිලවරණයේදී හිමිව තිබුණි.

 

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නව විධායක සභාව (2024-28)

• සභාපති:- රන්දීර් රුද්‍රිගු මහතා (පුහුණුකරුවන්ගේ සංගමය)
• ප්‍රධාන ලේකම්:- කපිල කුමාර මහතා (ගම්පහ)
• භාණ්ඩාගාරික:- සිසිර සමන්සිරි මහතා (කොළඹ)
• උප සභාපති ධුර (3):- නිහාල් වීරතුංග (කොළඹ) හා ලයනල් කුමාර (කොළඹ) යන මහත්වරුන් (එක් ධුරයක් හිස්ව පවතී)
• උප ලේකම්:- කසුන් චතුරංග මහතා (කොළඹ)
• උප භාණ්ඩාගාරික:- කිත්සිරි බණ්ඩාර මහතා (පුහුණුකරුවන්ගේ සංගමය)


අදහස් (0)

ලෝක කායවර්ධන තරගාවලියට කෝටි 20ක් සෙවීම අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.