Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රම්ඩෝ යළි සේවයට

රම්ඩෝ යළි සේවයට

editorial - 2022 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ සිය සේවය අවසන් කිරීමට ගත් තීරණයට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ පින්ලන්ත ජාතික වෙරළ වොලිබොල් විශේෂඥ පුහුණුකරු ඔයිලන්ඩ් රම්ඩෝ මහතාගේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්වී තිබේ.

ඒ අනුව රම්ඩෝ මහතාගේ ශ්‍රී ලංකා සේවය අවසන් කිරීමට ගත් තීරණය වෙනස් කරමින් ඔහුගේ මෙරට සේවය ලබන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනදා දක්වා එංගලන්තයේදී පැවැත්වෙන 22 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන තෙක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දැන් තීරණය කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සේවය සඳහා දිවයිනට පැමිණි ඔයිලන්ඩ් රම්ඩෝ මහතාගේ සේවා කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිල වශයෙන් අවසන්වීමට නියමිතව තිබුණේද එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවේදීය.

කෙසේ වුවත් වැටුප් ගෙවා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ සේවය අතරමග අත්හිටුවීමට පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කරන විට ඔහු නිවාඩුවක් සඳහා සිය රටවන පින්ලන්තය බලා ගොස් තිබුණි.

මෙම තීරණයට එකඟ නොවූ රම්ඩෝ මහතා දිවයිනට යළි පැමිණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේය. ඒ සිය ශ්‍රී ලංකාවේ සේවය කොන්ත්‍රාත් කාලයට පෙර අවසන් කිරීමෙන් තමන් අගතියට පත්වූ බවට ප්‍රකාශ කරමිනි.

කෙසේ වුවත් රම්ඩෝ මහතා හා වගඋත්තරකාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අතර පසුව ඇතිකර ගත් එකඟතාවයක් මත නඩුව ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසිය මත එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන තෙක් ඔහුගේ සේවය ශ්‍රී ලංකාවට ලබාගැනීමට තීරණය වී තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර උද්ගත වූ මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්වී තිබේ. ඒ අනුව මෙතැන් සිට රම්ඩෝ මහතාගේ වැටුප් ගෙවීම ඔලිම්පික් කමිටුවේ දායකත්වයෙන් සිදුකෙරෙන බවද වාර්තා වේ.

රම්ඩෝ මහතාගේ සේවය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය. ඒ සඳහා ඔහුට මෙතෙක් වැටුප් ගෙවා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

රටේ උද්ගත වූ ආර්ථික අවපාතය හා ඇමරිකානු ඩොලර් හිඟය හමුවේ මෙරට සේවයට කැඳවූ විදෙස් පුහුණුකරුවන්ට වැටුප් හා දීමනා ගෙවීම මේ වනවිට ගැටළුවක් බවට පත්ව තිබීම මෙම ප්‍රශ්නයේ ආරම්භය බවද පැවසේ. මීගමුවේදී පසුගිය මාර්තු 20 වැනිදා නිමාවට පත්වූ ආසියානු කඩඉම් තරග වටය අපරාජිතව ජය ගනිමින් ශ්‍රී ලංකාව එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන්ම නිර්දේශ ලබා ගැනීමේදී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රම්ඩෝ මහතාය.

 


අදහස් (0)

රම්ඩෝ යළි සේවයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.