Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රනිඳු ලෝක කුසලාන චෙස් තරගාවලියට

රනිඳු ලෝක කුසලාන චෙස් තරගාවලියට

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද)

ලෝක කුසලාන චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ෂාන් ලියනගේ අද (9 වැනිදා) රුසියාව බලා පිටත්ව ගියේය. තරගාවලියේ සමාරම්භක උළෙල අනිද්දා (11 වැනිදා) රුසියාවේ සෝචිහීදී පැවැත්වෙන අතර පළමු වටයේ තරග 12 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

ලොව හොඳම චෙස් ක්‍රීඩකයන් 208 දෙනා සහභාගීවන ලෝක කුසලාන චෙස් තරගාවලිය මාස එක හමාරක කාලයක් පුරා පිළිමළුන් පිටුදැකීමේ ආකෘතියට අනුව පැවැත්වේ. වත්මන් චෙස් ලෝක ශූරයා වන මැග්නස් කාල්සන් ඇතුළු ලොව ඉහළම පෙළේ චෙස් ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලිය සඳහා සිය සහභාගීත්වයන් තහවුරු කර තිබේ.

ලෝක චෙස් සම්මේලනයේ නව සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයකු සහභාගි කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි විය. එම අවස්ථාව සඳහා වත්මන් ජාතික චෙස් ශූරයා වන රනිඳු දිල්ෂාන් සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින හර්ෂණ තිලකරත්න අතර තේරීම් තරගයක් පැවත්වීමට ජාතික චෙස් තේරීම් කමිටුව තීරණය කළේය.

කෙසේ වුවත් සෞඛ්‍ය හේතුන් මත හර්ෂණ එම තරගයෙන් ඉවත් වීමත් සමග තරගයකින් තොරවම රනිඳුට මෙවර ලෝක කුසලාන චෙස් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ලෝක කුසලාන චෙස් තරගාවලියකට සහභාගී වන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස රනිඳු ඉතිහාසය‍ට එක් වනු ඇත.

 ඉකුත් වසරේ (2020) ඔක්තෝබර් මාසයේදී පැවති ශ්‍රී ලංකා ජාතික චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගත් රනිඳු, ඉහළ දස්කම් දක්වමින් මේ වසරේදී (2021) පැවති ශ්‍රී ලංකා ගෝන් ප්‍රී චෙස් තරගාවලියද ජයග්‍රහණය කළේය.

 


අදහස් (0)

රනිඳු ලෝක කුසලාන චෙස් තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.