Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න හයක් කිරිකිස්තානයට

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න හයක් කිරිකිස්තානයට

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ ලබා ගැනීමේ අභිප්‍රායෙන් සිකුරාදා (12) ආරම්භ වන ආසියානු ශූරතා හා ඔලිම්පික් නිර්දේශිත තරගමාලාව සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ඊයේ (7) රාත්‍රියේදී කිරිකිස්තානයේ බිෂ්කෙක් නුවර බලා පිටත්ව ගියේය.

ඊට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකු සහ පුහුණුකරු සුරංග කුමාර මහතා ඇතුළත්ව සිටියේය.

කෙසේ වුවත්, එහි කළමනාකරු නුවන් චානක ප්‍රනාන්දු මහතා බිෂ්කෙක් වෙත ළඟා වන්නේ එළැඹෙන බ්‍රහස්පතින්දා (11) දිනයේදීය.

ආසියානු ශූරතා තරගාවලිය මෙම 12 වැනිදා සිට 14 වැනිදා දක්වාත්, අනතුරුව සංවිධාන කෙරෙන ඔලිම්පික් සුදුසුකම් තරගාවලිය මෙම 18 වැනිදා සිට 21 වැනිදා දක්වාත් බිෂ්කෙක් නුවරදී පැවැත්වේ.

මෙම තරග සංචාරය සඳහා ඩොලර් 22,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 70කට ආසන්න මුදලක් වැය වේ. ඉන් ඩොලර් 14,800ක්ම ලබා දී ඇත්තේ ලෝක මල්ලවපොර සම්මේලනය විසිනි.

ගුවන් ප්‍රවේශපත්‍ර වියදම කළමනාකරු සහ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන්ට හැරෙන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුට ලබා දීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත්ව ඇත.

මේ අතර, තරගමාලාවට සමගාමීව බිෂ්කෙක් නුවරදී පැවැත්වෙන ආසියානු මල්ලවපොර සම්මේලනයේ මහ සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති සරත් හේවාවිතාරණ සහ එහි හිටපු ලේකම් ධනංජය රණසිංහ යන මහත්වරු මෙම 18 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානම්ව සිටිති.

පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභිනි නෙත්මි අසිංසා ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 53 බර පන්තිය) සහ නිපුණි ධර්මදාස (කිලෝග්‍රෑම් 50 බර පන්තිය) මෙම තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ දෙදෙනා වෙති.

කතුරංගන ඒකනායක (කිලෝග්‍රෑම් 57 බර පන්තිය), ඩිවෝසන් ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 65 බර පන්තිය), ලක්මාල් විජේසූරිය (කිලෝග්‍රෑම් 74 බර පන්තිය) සහ එච්.පී.ටී.පී. චන්ද්‍රසේකර (කිලෝග්‍රෑම් 57 බර පන්තිය) ඊට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

වසර 2022 බර්මින්හැම් පොදුරද මඩුලු ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභිනි නෙත්මි අසිංසා ප්‍රනාන්දුගේ පෞද්ගලික පුහුණුකරු වන්නේ ද මෙම තරග සංචාරයට එක්ව සිටින පුහුණුකරු සුරංග කුමාර මහතාය.


අදහස් (0)

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න හයක් කිරිකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.