Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි පාර්ශ්ව දෙකටම ඔලිම්පික් කමිටුවෙන් කැඳවීමක්

පාපැදි පාර්ශ්ව දෙකටම ඔලිම්පික් කමිටුවෙන් කැඳවීමක්

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට හිමි ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අසුනකට හිමි සුදුසු පාර්ශ්වය තීරණය කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් සඳහා ඊට අයිතිය කියා පාන පාර්ශ්ව දෙකම හෙට (27) පස්වරු 1 ට ජාතික ඔලිම්පික් කමිටුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හා එහි ප්‍රධාන ලේකම් නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරුන් එහි වත්මන් විධායක සභාව නියෝජනය කරමින්ද අන්තර්ජාතික පාපැදි විනිසුරු හා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න හා එහි හිටපු ලේකම් නිහාල් කුලසේකර යන මහත්වරුන් දැනටත් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ පාපැදි සම්මේලනයේ අසුන හිමිකර ගෙන සිටින පාර්ශවය වෙනුවෙන්ද මෙම කැඳවීම් ලබා තිබේ.

කෙසේ වුවත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මගින් ජාතික ඔලිම්පික් කමිටුවේ ඉකුත්දා පැවැති මහ සභාව නියෝජනය කිරීමේ අවස්ථාව පාපැදි සම්මේලනයේ වත්මන් ලේකම් නලීන් අධිකාරිආරච්චිගේ මහතා හිමි කර ගත්තේය.

එහෙත් අන්තර්ජාතික පාපැදි සම්මේලනය පසුව ශ්‍රී ලංකාවේ පැවැති ජාතික පාපැදි සම්මේලනයේ නිලවරණවලින් පත්වූ විධායක සභා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස පිළිගන්නේ 2018 - 20 නිල කාලයේ දී එහි සභාපති ධුරය දැරූ එන්. කරුණාරත්න මහතාය.

එම තත්ත්වයට හේතු වූයේ පසුව පාපැදි සම්මේලනය සඳහා පත් කර ගන්නා ලද විධායක සභාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයේ (අනිසි දේශපාලන) මැදිහත්වීම් සිදු කළ බවට අන්තර්ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවට නැඟූ චෝදනාවයි. කෙසේවුවත් මෙම තත්ත්වය තුළ වසර 2019 සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපැදි තරග සහභාගීත්වයට අන්තර්ජාතික සම්මේලනයෙන් සීමා පනවා තිබේ. ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර තරග සහභාගීත්වයට ශ්‍රී ලංකාවට සිය අනුමැතිය ලැබෙන්නේ එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය හරහා යොමු කරන තරග සංචාර සඳහා පමණක් බවත්ය.

මෙම තත්ත්වය තුළ වසර 2019 සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපැදි තරග සහභාගිත්වය ඇණහිට තිබෙන අතර අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ බලපෑම් හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ  විධායක සභාවේ පාපැදි සම්මේලනයට හිමි අසුන පසුගිය (2024) මහ සභා රැස්වීම තෙක් හිමිව තිබුණේ එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වයටය.

එහෙත් පාපැදි සම්මේලනයේ වත්මන් ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව පැවැති එම මහ සභාවේදී පාපැදි සම්මේලනය වෙනුවෙන් අසුන් ගත්තේය.

මෙම තත්ත්වයත් සමග ජාතික ඔලිම්පික් කමිටුවේ පාපැදි සම්මේලනයේ අසුන අරබයා උද්ගතවී තිබෙන ගැටළුව සංකීර්ණ තත්ත්වයක් ගෙන තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගන්නා රටේ නිල පාපැදි ක්‍රීඩා පරිපාලනය පවත්වාගෙන යන සිය පාර්ශ්වයට මෙම අසුන නිත්‍යානුකූලව හිමි විය යුතු බව එහිදී නලින් අධිකාරිආරච්චිගේ මහතාගේ පාර්ශ්වය දිගින් දිගටම කියා සිටියි.

ඒ අතර ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන ඒකකය ලෙස පිළිගත්තේ තමන් බැවින් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ පාපැදි සම්මේලනයේ අසුන හැර යාමට තමන් කිසිසේත් සූදානම් නැති බව එන්. කරුණාරත්න පාර්ශවය එහිදී කියා සිටියි.මෙම තත්ත්වයත් විග්‍රහ කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ පාපැදි සම්මේලනයට හිමි අසුනට නියම සුදුසු පාර්ශ්වය තීරණය කර ගැනීම සඳහා හෙට රැස්වීම කැඳවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සාකච්ඡාව මෙහෙයවීම ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය (2024-25) ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය.

මීට පෙර අවස්ථාවකදීත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමක දී පාපැදි සම්මේලනය වෙනුවෙන් අසුන්ගැනීමට වත්මන් ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතා සමත් විය.


අදහස් (0)

පාපැදි පාර්ශ්ව දෙකටම ඔලිම්පික් කමිටුවෙන් කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.