Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නෙත්මිට පස්වැනි තැන

නෙත්මිට පස්වැනි තැන

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ස්පාඤ්ඤයේ දී දැන් පැවැත්වෙන 2022 ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 55 බර පංතිය (කාන්තා) ඉසව්වේ පස්වැනි ස්ථානය ලැබුවාය.

මෙම ක්‍රීඩිකාව ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය දිනාගත්තේ පසුගිය අගෝස්තු මාසයේ එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී නිමාව දුටු  22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙනි.

ඇය එයින් පසුව ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය විය. කෙසේ වුවත් 18 හැවිරිදි  මෙම ක්‍රීඩිකාවගෙන් ශ්‍රී  ලංකාව ලෝක ශූරතා තරගාවලියේ දී පදක්කමක් කෙරෙහි වඩාත් විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණි.

එහෙත් ලෝකඩ පදක්කම් ද්විත්වය සඳහා අර්ධ අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පැවැති පළමු තරගයේදී නෙත්මි අහිංසා එක්සත් ජනපදයේ ඇලිසා හෝක්ට ලකුණු 13-5කට පරාජයවීමෙන් ඇගේ පදක්කම් අපේක්ෂා බිඳවැටුණි.

මූලික වටයේ තරගයේ දී කොළොම්බියාවේ ටටියනා පුටාඩෝ ලකුණු  7-2කට පරාජය කිරීමෙන් ඇය ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියාය. එහිදී ඇය මෝල්ටාවේ මිහාලා සැමොයිල්ට ලකුණු 15-11කට පරාජය වූවාය.

මෙම මෝල්ටා ක්‍රීඩිකාව එතැන් සිට ඉසව්වේ ඉදිරියට පැමිණෙමින් අවසන් තරගයට තේරී රිදී පදක්කම හිමිකර ගත්තාය. එහිදී ඇය ලකුණු 13-0කට පරාජය කළ  ජපන් ක්‍රීඩිකා මෝයි කියෝකා මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය.

වෙල්පල්ල සංඝරත්න විදුහලේ ශිෂ්‍යාවක වන නෙත්මි සමග ස්පාඤ්‍ඤ ලෝක ශූරතා තරගාවලියට තරග වැදුණු ක්‍රීඩිකාවන් ගණන 13කි. ස්පාඤ්‍ඤයේ ෆොන්ටෙවෙඩ්රා  නුවරදී පසුගිය සඳුදා (17) ආරම්භ වූ  මෙම තරගාවලිය හෙට (23) අවසන්වීමට නියමිතය. ඒ සඳහා රටවල් 46ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටිති.

සංචාරක ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ක්‍රීඩක  ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විතය. ඊයේ වනවිට තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වෙනත් කිසිවෙකුත් සිය ඉසව්හි ඉදිරියට පැමිණීමට සමත් වූයේ නැත.

බර්මින්හැම් නුවරදී නිමාව දුටු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනාගත් නෙත්මි අහිංසාගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කළ සුරංග කුමාර මහතා ද ස්පාඤ්‍ඤ  තරග සංචාරයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.


අදහස් (0)

නෙත්මිට පස්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.