Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිලවරණ කමිටුව නිර්දේශ කිරීම විධායක සභාවට පවරා ගනියි

නිලවරණ කමිටුව නිර්දේශ කිරීම විධායක සභාවට පවරා ගනියි

editorial - 2024 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ එළැඹෙන නිලවරණය (2024-25) සඳහා මෙහෙයුම් කමිටුව පත් කරගැනීම විශේෂ මහ සභා රැස්වීම් දෙකකදීම අසාර්ථක වූ බැවින්, එය නැවත නිර්දේශ කරගැනීම පාපැදි සම්මේලනයේ විධායක කමිටුවට පවරාගත් බව එහි ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා පවසයි.

ඒ සඳහා පාර්ශ්ව දෙකකින් යෝජනා වූ නාම යෝජනා හයක් සැලකිල්ලට ගන්නා බවත්, එහිදී විධායක සභාව නිලවරණ කමිටුවට අලුතින් යෝජනා කරන නාම යෝජනා නිර්දේශ කරගැනීමේදී ඒ සම්බන්ධයෙන් පාපැදි සම්මේලනයේ සාමාජිකත්වය දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා A ඔහු ‘ලංකාදීප’යට වැඩිදුරටත් පැවැසීය.

මේ අතර, නිලවරණ කමිටුව පත් කරගැනීමේදී තැන තැන තිබෙන මෙම ආරාවුල් තත්ත්වය හේතුවෙන් එය නියමිත පරිදි ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවත්, හිටපු සභාපතිවරයකු වන ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා සභාපති ධුරය දරන අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමය මේ වන විට මෙම අර්බුදයට මැදිහත් වන ලෙස ඉල්ලා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාට විරෝධතාවක් බාර දී ඇත.

එහි සඳහන් කර ඇත්තේ, මෙම විශේෂ මහ සභා රැස්වීම් දෙකේදීම ක්‍රීඩා සමාජ 49කින් 36ක මනාපයෙන් නිලවරණ කමිටුව සඳහා නාම යෝජනා නිර්දේශ කරගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර අවසන්ව ඇති බවයි. එහෙත්, පාපැදි සම්මේලනයේ සභාපතිවරයා පක්ෂග්‍රාහීව හැසිරෙමින් නිලවරණ කමිටුවේ සභාපති ධුරයට ඉදිරිපත් වූ නාම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, ඔහුට සිතැඟි නිලවරණ කමිටුවක් පත් කරගැනීමට දරන උත්සාහය තුළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එම විරෝධතාවයෙන් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙම ප්‍රශ්නය ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව හමුවේ විසඳා ගැනීම වඩාත් උචිත වනු ඇතැයි පැවැසීය.

මේ අතර, පැවැති මෙම විශේෂ මහ සභා රැස්වීම් අවස්ථාවකදී තමන්ට බැණවැදී තර්ජනය කළ බවට චෝදනා කරමින් පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයකු විසින් දිස්ත්‍රික් පාපැදි සංගමයක ලේකම්වරයකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් මේ වන විට විභාග කරමින් සිටින බව වාර්තා වේ.

නලින් අධිකාරිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසුවේ, කිසිවකුටවත් අසාධාරණයක් නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නිලවරණ කමිටුව නිර්දේශ කර, නිලවරණය පවත්වා අවසන් කිරීමට පාපැදි විධායක සභාව කටයුතු කරන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්ද්‍ර ප්‍රියනාත් මහතා පැවැසුවේ, නිලවරණ කමිටුව නිර්දේශ කිරීම මහ සභා රැස්වීමක කටයුත්තක් මිස ඒ සඳහා විධායක සභාවට කිසිදු ඉඩක් නැති බවයි.

මෙම කටයුත්තට එරෙහිව පාපැදි සම්මේලනය් සාමාජික ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් බහුතරයකගේ අත්සනින් යුත් විරෝධතාවක් ක්‍රීඩා ඇමැතිවරයාට බාර දීමට සූදානම් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


අදහස් (0)

නිලවරණ කමිටුව නිර්දේශ කිරීම විධායක සභාවට පවරා ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.