Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල් අර්ධ අවසන් පූර්ව වටයට
ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය

නඩාල් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයේදී ප්‍රංශයේ ඇඩ්‍රියන් මැනරිනෝට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤයේ රෆායල් නඩාල් අද (23 වැනිදා) සමත් විය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් පළමු වටය සම ලකුණු බිඳීමේ අදියරකින් අනතුරුව ලකුණු 7/6 ක් ලෙස ජයගත් නඩාල්, දෙවැනි සහ තෙවැනි වටවලදී ලකුණු 6/2 ක් ලෙස පහසු ජයග්‍රහණ ලැබීය. මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවේ.

2009 වසරේදී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගත් නඩාල්, අවස්ථා 5 කදී එම තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කර ඇත. මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහු කැනඩාවේ ඩෙනිස් ශපොවාලොව්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

මේ වන විට 22 වැනි වියේ පසුවන ශපොවාලොව් තරගාවලියේ සිවුවැනි වටයේදී තරග වට 3-0 ක් ලෙස (6/3, 7/6, 6/3) ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වරෙව් පරාජය කිරීමට සමත් විය. මේ වසරේ පැවැති ඔලිම්පික් උළෙලේ පිරිමි ටෙනිස් ඉසව්ව ජයගනු ලැබුවේ ස්වරෙව් විසිනි.
 
මෙම තරගාවලියේදී සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹායන නඩාල්, මේ වන විට ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටියි.

එබැවින් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ තනි අයිතියට හිමිකම් කීමට නඩාල්ට වැඩි අවස්ථාවක් පවතී. මේ වන විට ඔහු සර්බියාවේ නොවැක් ජොකොවික් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවේ.


-036


අදහස් (0)

නඩාල් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.