ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත සමත් විය. අද (5 වැනිදා) පෙරවරු 8.30 ට මාතර නගරයෙන් ආරම්භ වූ දෙවැනි අදියර බලංගොඩ නගරයෙන් අවසන් වූ අතර එය කිලෝ මීටර් 161.4 දුරකින් යුතු විය.
තරගකරුවන් 93 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුෂංක සමත් වූ අතර ස්ටෙෆනෙලි පිලිප්පෝ ක්‍රීඩා සමාජයේ අමිත් උදය කුමාර එහි තෙවැනි ස්ථානයට පත් විය.
කොළඹ සිට මාතර දක්වා ඊයේ (4 වැනිදා) පැවැති පළමු අදියරේදී සජිත් 21 වැනියා ලෙස තරගය නිමා කළ අතර ක්‍රිෂාන් මධුෂංක 29 වැනියා ලෙසද, උදය කුමාර 33 වැනියා ලෙසද තරගය නිමා කළහ. කෙසේ වුවත් අද දිනයේදී ඔවුන් සිය අඩුපාඩු නිවැරදි කරගනිමින් තැනිතලා මාර්ග, මුහුදුබඩ මාර්ග මෙන්ම කඳුකර මාර්ග තරණය කරමින් තමන්ද තරගාවලිය තුළ අභියෝගයක් විය හැකි තරගකරුවන් බව සනාථ කළහ.
කිලෝ මීටර් 159.5 කින් සමන්විත වූ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඬේන් නුගේරා සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වාද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂද හිමිකර ගත්හ. කෙසේ වුවත් ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුට දෙවැනි අදියරේ පළමු ස්ථාන තුන අතරට පැමිණීමට නොහැකි වූහ.
අදියර පහකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ තෙවැනි අදියර හෙට (6 වැනිදා) පෙරවරු 8.30 ට බලන්ගොඩ ඔරලෝසු කණුව අසලින් ආරම්භ කෙරේ. එය බෙලිහුල්ඔය, හපුතලේ, බණ්ඩාරවෙල, බදුල්ල, දුන්හිඳ ඇල්ල, මීගහකිවුල නගරය පසු කරමින් කිලෝ මීටර් 130.8 ක දුරක් ගෙවා මහියංගණය මහජන ක්‍රීඩාංගණය අසලින් නිමාවට පත් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.