Last Update  :  2026-01-08 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තීරණාත්මක සාකච්ඡාවකට ඇමැති සියලු සංගම් කැඳවයි

තීරණාත්මක සාකච්ඡාවකට ඇමැති සියලු සංගම් කැඳවයි

editorial - 2026 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හා එහි ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව අතර ඊයේ (6) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති හමුවේදී තීරණයවී ඇත්තේ කමිටුවේ සියලුම සාමාජික ජාතික ක්‍රීඩා සංගම් සහභාගිත්වයෙන් ලබන අඟහරුවාදා (13) පෙරවරු11ට ක්‍රීඩා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි නිලවරණය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමටය.

ක්‍රීඩා ඇමැතිවරයා සමග ඊයේ පැවැති මෙම සාකාච්ඡාවට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති පී. විශ්වනාතන්, ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිශාන්ත පියසේන යන මහත්වරු ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් අටක නියෝජිතයන් සහභාගිවී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙනුවෙන් ඊයේ සාකාච්ඡාවට සහභාගිවී ඇත්තේ එහි විධායක නිලධාරී ලාල් වික්‍රමතුංග හා එහි ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න යන මහත්වරුන්ය.

එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දැනට පැන නැගී තිබෙන තත්වයන්ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ නිලවරණය කැඳවීම සදහා වන මාර්ගෝපදේශ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා යවා ඇති බවයි. එය ලැබුණු වහාම නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් කමිටුවේ සභාපතිවරයා සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමෙන් පසු වන බවත් ඔවුහු පැවැසූහ.

මේ අතර සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ පසු ගිය දෙසැම්බර් 27 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් සිටින විධායක සභාවේ නිල කාලය ව්‍යවස්ථානූකූලව අවසන් වූ බැවින් තමා එහි දැරූ විධායක සභික ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.

සාකච්ඡාවට සහභාගි වූ ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් ක්‍රීඩා ඇමැතිවරයාට අවධාරණය කර ඇත්තේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ පැවැති නිල කාලය අවසන්වී තිබීම ඉතා පැහැදිළි බැවින් එහි මීළග නිලවරණය (2026 - 30) කැඳවීමේ සම්බන්ධ්කරණ කටයුතු සදහා ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමක් අපේක්ෂා කරන බවයි.

එසේම කමිටුවේ මීළග නිලවරණය අත් හිටුවීමට හෝ කල් දැමීමට ක්‍රියාකිරීමෙන් ජාතික ක්‍රීඩා සංගම් වෙත වැරැදි පූර්වාදර්ශයක් ලැබෙන බවද ඔවුන් එහිදී  වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ කුමන තත්වයන් මැද වූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ නිල කාලය අවසන්වීමෙන් පසුව නව විධායක සභාවක් පත් කර ගැනීමේ එහි සාමාජික ක්‍රීඩා සංගම්හි අභිලාෂයට ගරු ක‍ළ යුතු බවයි. එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ ලබන අඟහරුවාදා (13) එහි සියලුම සාමාජික ජාතික ක්‍රීඩා සංගම් කැඳවා තත්වය සමාලෝචනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය (තීරණය) ප්‍රකාශ කරන බවයි.


අදහස් (0)

තීරණාත්මක සාකච්ඡාවකට ඇමැති සියලු සංගම් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.