Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තත්පරයේ වාසිය ෂෙනාල්ට

තත්පරයේ වාසිය ෂෙනාල්ට

editorial - 2024 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගන්නෝරුවෙන් ගමන් අරඹා, කදුරුවෙල නගරයෙන් ඊයේ (4) නිමාවට පත්වූ 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර තරගයේ ජය පළපුරුදු ධාවකයකු වන, වරාය අධිකාරියේ නිපුන ෂොනාල් ද සිල්වාට හිමි විය. කිලෝමීටර් 137.2ක දුරක් ගෙවා කදුරුවෙලට ළඟා වූ ෂොනාල්ට ඒ සඳහා ගත වූ කාලය පැය 3යි විනාඩි 9යි තත්පර 38කි.

ඊයේ අදියර-2 තරගයේ දෙවැනි ස්ථානයට පත් යුද හමුදා ක්‍රීඩක පසිඳු තිසේරා හා තියුණු සටනක යෙදෙමින් ඔහු තරගය ජය ගන්නා අතර, පසුපසින් පැමිණි පසිඳු තත්පරයක ප්‍රමාදයකින් දෙවැනි ස්ථානයට පත්වූයේ, පැය 3යි විනාඩි 9යි තත්පර 39කටය. පැය 3යි විනාඩි 9යි තත්පර 43කට මෙහි තෙවැනි ස්ථානය ලැබුවේ, නාවික හමුදා ක්‍රීඩක ප්‍රභාෂ් මධුශංඛය.

ගන්නෝරුව, හල්ඔළුව, අකුරණ, අලවතුගොඩ, මාතලේ, නාඋල, කිරලගොල්ල, දඹුල්ල, ඉනාමළුව, හබරණ, මින්නේරිය, පොළොන්නරුව හරහා කදුරුවෙලට වැටී තිබූ දෙවැනි අදියර ගමන් මාර්ගය සම්පූර්ණ කරමින් ඊයේ තරගය නිමාවට පත් කළ මුළු තරගකරුවන් ගණන 89කි.

ගන්නෝරුවේදී පළමු අදියර තරගය නිමා කළ තරගකරුවෝ 108 දෙදෙනෙක් ඊයේ දෙවැනි අදියර තරගයට සහභාගි වූහ. අතරමගදී අනතුරු දෙකක් වාර්තා වූ අතර, ඉන් එකකදී සුළු තුවාල ලැබූ වරාය අධිකාරියේ ක්‍රීඩක කසුන් නිමේෂ් ඇතුළු තරගකරුවන් තිදෙනකුට අවාසනාවන්ත අයුරින් ඊයේ ධාවනයෙන් ඉවත් වීමට සිදු වූ බව තරගාවලියේ ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරි නලින් අධිකාරි ආරච්චිගේ මහතා පැවැසීය.

මෙවර 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් පෙරේදා (3) ගාලු මුවදොර ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ගන්නෝරුව දක්වා ගමන් ඇරැඹූ පළමු අදියර තරගය (කිලෝමීටර් 104.3) ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක නදීෂ ඒෂාන් ඊයේ දෙවැනි අදියර තරගයේදී මුල් පෙළේ ස්ථානයකට පැමිණීමට අපොහොසත් විය.

ඊයේ ධාවකයන්ගේ වේගය කිලෝමීටර් 40.5ක තරම් අගයක් ගත්තේය. ඊයේ තරගය ජයගත් ෂොනාල්ට පළමු අදියර තරගයේදී හිමි වූයේ 62 වැනි ස්ථානයයි.

කිලෝමීටර් 654ක්, දින පහක් පුරා, අදියර පහකින් ගමන් ගන්නා මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවැනි අදියර තරගය අද (5) පොළොන්නරුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගනියි. ඒ, කිලෝමීටර් 125.7ක දුරක ධාවනයේ නිරත වෙමිනි.

අද (5) තෙවැනි අදියර ගමන් මාර්ගය කදුරුවෙල අබාන්ස් ආයතනය ඉදිරිපිටින් ඇරැඹේ. එතැන් සිට පොළොන්නරුව, ගිරිතලේ, හබරණ හන්දිය, ගල්ඔය හන්දිය, අග්බෝපුර, කන්තලේ, මොල්ලිපොතාන, පාලම්පවාරු, අභයපුරය, මරකන්ඩි ඔස්සේ ත්‍රිකුණාමලය වෙරළ තීරය දක්වා වැටී තිබේ.

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර පහක් ඔස්සේ ලබන බ්‍රහස්පතින්දා (7) අවසන් වීමට නියමිතව ඇත්තේ, යාපනය ‘දොරේ අප්පා’ ක්‍රීඩාංගණය අසලිනි.


අදහස් (0)

තත්පරයේ වාසිය ෂෙනාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.