Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජිම්නාස්ටික් මුල්පුටුව දොලවත්තට

ජිම්නාස්ටික් මුල්පුටුව දොලවත්තට

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා වැඩි ඡන්ද හතරකින් තේරී පත්විය. වසර 2023-27 නිල වරණය සඳහා ජිම්නාස්ටික් සංගමයේ නව විධායක සභාව තෝරා පත්කර ගැනීම සඳහා අද (29) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති නිලවරණයේ දී 42 හැවිරිදි දොලවත්ත මහතා ඡන්ද 28 ක් ලබා සභාපති ධුරයට තේරී පත්විය.

එහිදී ඔහු සමග එම ධුරයට තරග වැදුණු ධම්මික කරුණාදාර මහතා ඡන්ද 24 ක් ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත මහතා ඉදිරි සිව් වසරක් සඳහා ජිම්නාස්ටික් සංගමයේ මුල් පුටුවට පත්වන විට හිටපු සභාපති කෝකිල නිමේෂ් කළුආරච්චි මහතා උප සභාපති ධුරයකට තරග වැදෙමින් තේරී පත් විය.

ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මෙවරත් සභාපති ධුරයට ඉදිරිපත්ව සිටිය දී නාමයෝජනා කළින්ම ප්‍රතික්ෂේප වුණු පොලිස් අධිකාරි කමල් සංජීව පෙරේරා මහතා අද නිලවරණය කැඳවූ මහ සභාවට ඇතුළුවීමට පැමිණ සිටියත් නිලවරණ කමිටුව ඊට ඉඩ නුදුන්නේය.

අද තේරී පත්වූ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ විශේෂ අනුමැතිය ලබා ගනිමින් මෙවර නිලවරණයට ඉදිරිපත්වීම කැපී පෙනුණි. ඔහු මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වූ අවස්ථාවකදී එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇත.

අද නිලවරණය ජිම්නාස්ටික් සංගමයේ මහ සභාවට ඡන්ද ඒකක (සංගම් හා ක්‍රීඩා සමාජ) 31කින් 23ක් සහභාගිවී සිටියහ.

සංගමයේ සෙසු වැදගත්ම ධුරය වන ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූයේ උදාර එස්. ලියන්විල මහතායි. එහිදී එම ධුරය සඳහා ද තරග වැදුණු ධම්මික කරුණාදාර මහතා වැඩි ඡන්දයෙන් (37-22) පරාජයට පත් කරමින් මීට පෙරත් ප්‍රධාන ලේකම් ධුරය දරා තිබෙන ලියන්විල මහතා තේරී පත්විය.

උපසභාපති ධුර තුනක් පිරවීම සඳහා සිදු කළ ඡන්ද විමසුමේ දී මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධාරියෙකු වන අධ්‍යාපන අමාත්‍යාංශයේ  ජිම්නාස්ටික් ව්‍යාපෘති නිලධාරි ධුරයේ දීර්ඝතම කාලයක් තිස්සේ කටයුතු කළ මිල්රෝයි ජයමාන්න මහතාගේ පරාජය කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සඳහා අන්තර් ජාතික ජිම්නාස්ටික් සම්මේලනයේ අනුග්‍රහයෙන් මේ වන විට රුපියල් මිලියන55 ක් වටිනා අති නවීන ක්‍රීඩා උපකරණ ලැබී ඇතැයි එහි නව ලේකම් උදාර එස්. ලියන්විල මහතා පැවැසීය.


ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව විධායක සභාව (2023-27)
සභාපති - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා (ඡන්ද 28)
ප්‍රධාන ලේකම් - උදාර එස්. ලියන්විල මහතා (ඡන්ද 37)
භාණ්ඩාගාරික – සෙල්ලමුත්තු ඉලන්ගෝවන් මහතා (නිතරගයෙන්)
උපසභාපතිවරු - කපිල ජීවන්ත (ඡන්ද 50), කෝකිල නිමේෂ් කලුආරච්චි (ඡන්ද 40), කරුණාරත්න පෙරේරා (ඡන්ද 26) යන මහත්වරුන්.
උප ලේකම් - අක්බාර් බුරාස් මහතා
උප භාණ්ඩාගාරික – (හිස්ව පවතී)


අදහස් (0)

ජිම්නාස්ටික් මුල්පුටුව දොලවත්තට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.