Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කුසලාන මේසයම ශුද්ධ කරයි

කුසලාන මේසයම ශුද්ධ කරයි

editorial - 2022 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

පාසල් දැල්පන්දු පිටියේ පෙරළිකාර දස්කම් දැක්වීමෙන් යළිත් නම රැන්දූ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී නිමාව දුටු සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැන්පන්දු තරග මාලාවේ ශූරතා හතරම එකවර දිනා ගනිමින් යළිත් වාර්තා පොතට ඇතුළත් විය.

එවැනි දස්කමක් ඔවුන් කළ තෙවැනි වතාව මෙය වන අතර තරගමාලාවේ සමස්ත ශූරතාව ඒ අනුව ඔවුන් මෙවර දිනාගත්තේ 13 වැනි වතාවටය.

මෙම තරග මාලාවේ වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ යන වයස් කාණ්ඩ හතරේම ශූරතා මීට පෙර ඔවුන් එකවර දිනාගත් අවස්ථා වාර්තා වූයේ 2010 හා 2012 යන වසරවලදීය.

මෙම වසරේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය මෙතෙක් දිනාගත් නව වැනි දැල්පන්දු කුසලාන ඒ අනුව වෙන්නප්පුවේදී වාර්තා විය. අවසන් වරට පොළොන්නරුවේදී නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ දැල්පන්දු කුසලාන දිනාගත් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයක් මෙම තරගාවලියේ ජයග්‍රාහී වයස 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළහ.

සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරග මාලාව 29 වතාවක් මේ වනවිට සංවිධානය වී තිබේ. එහිදී වසර 2004 සිට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතා දිනා ගැනීම ආරම්භ කර තිබේ.

මේ වනවිට ජාතික කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකරු ලෙස පත්වීම් ලබා සිටින අමල්කා ගුණතිලක මහත්මිය වසර ගණනාවක් පුරා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන දැල්පන්දු උපදේශිකාව ලෙස කටයුතු කරන්නීය.

එහි තවත් විශේෂත්වයක් වන්නේ ඇගේ සැමියා වන ආනන්ද වන්නිතිලක මහතා මෙම විදුහලේ සහාය දැල්පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමයි. මෙම යුවළගේ දියණිය වන දුලංගි වන්නිතිලක සිංගප්පූර්වේදී නිමාවට පත්වූ 13 වැනි ආසියානු දැල්පන්දු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළාය.

සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියක සියළු ශූරතා එකවර දිනාගත් තවත් පාසලක් වන්නේ කළුතර බාලිකා විදුහලයි. කළුතර බාලිකා විදුහල මෙවර තරගාවලියේ වයස 19 පහළ අනුශූරතාලාභී කණ්ඩායමයි.

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ සන්නාමය යටතේ මෙවර 29 වැනි වතාවටත් තරග මාලාවට අනුග්‍රහය ප්‍රදානය කෙරුණි.

 

සමස්ත ලංකා මයිලෝ කුසලාන දැල්පන්දු තරග මාලාවේ අවසන් මහ තරග ප්‍රතිඵල

● වයස 13 න් පහළ:- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කුරුණෑගල මලියදේව බාලිකා විදුහල පරාජය කරන ලදී (09/ 06)
දක්‍ෂතම ක්‍රීඩිකාව:- රෙහන්සා තිසුම්ලි විජේරත්න (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
● වයස 15 න් පහළ:- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල පරාජය කරන ලදී (21/10)
දක්‍ෂතම ක්‍රීඩිකාව:- නෙතුනි ජයවික්‍රම (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
● වයස 17 න් පහළ:- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කුරුණෑගල මලියදේව බාලිකා විදුහල පරාජය කරන ලදී (32/24)
දක්‍ෂතම ක්‍රීඩිකාව:- අකිත්මා අබේසිංහ (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
● වයස 19 න් පහළ:- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කළුතර බාලිකා විදුහල පරාජය කරන ලදී (27/13)
දක්‍ෂතම ක්‍රීඩිකාව:- ටානියා ගුණසේකර (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය)

කෙතරම් ජයග්‍රහණ ලැබුවත් සිය විදුහලේ දැල්පන්දු පුහුණුවීම් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් පහසුකම් සැළසී නැතැයි පැවසූ පුහුණුකාරිණී අමල්කා ගුණතිලක මහත්මිය සිය කණ්ඩායම්හි ක්‍රීඩිකාවන් පුහුණුවීම් සඳහා විදුහලේ සිට කිලෝමීටර දෙකක් පමණවන දුරක් පයින් ගෙවා උඩවල්පොල මහජන ක්‍රීඩාංගණයට දෛනිකව පැමිණෙන බව පැවසුවාය.


අදහස් (1)

කුසලාන මේසයම ශුද්ධ කරයි
  • Ahamed Wednesday, 16 November 2022 06:25 PM

    නියමයි කෙල්ලනේ, ඉදිරියටම යමු... ඊලඟ ආසියානු ශූරියෝ සහ ලෝක කුසලාන ශූරියෝ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.