Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන මුල් පුටුව රන්දීර් රුද්‍රිගුට

කායවර්ධන මුල් පුටුව රන්දීර් රුද්‍රිගුට

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අද (28) පැවැත්වීමට නියමිත නිලවරණයේදී (2024-28) සභාපති ධුරයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන රන්දීර් රුද්‍රිගු මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය. ඒ ඔහුගේ නාම යෝජනාව පමණක් ඉදිරිපත් වී ඇති බැවිනි.

අද පස්වරු 2ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කායවර්ධන සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේදී ඒ සඳහා මෙතෙක් ස්ථාපිත කර තිබෙන දිස්ත්‍රික් සංගම් 13ක නියෝජිතයෝ සහභාගි වෙති.

එම එක් ඡන්ද ඒකකයක් සඳහා මනාප තුනක් බැගින් පළ කිරීමේ අවස්ථාව මෙම නිලවරණයේදී උදා වී තිබේ.

මෙවර ප්‍රධාන ලේකම් ධුරය සඳහා නාම යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබේ. සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු ලේකම්වරයකු ද වන ආසියානු කායවර්ධන සම්මේලනයේ වත්මන් විධායක සභික කපිල කුමාර මහතා හා සම්මේලනයේ වත්මන් ලේකම් මිල්ටන් ද සිල්වා යන මහත්වරුන් මෙහිදී ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

වත්මන් සභාපති ලයනල් කුමාර මහතා මෙවර උප සභාපති ධුරයකට නාම යෝජනා බාරදී තිබේ. අද නිලවරණයේදී නිතරගයෙන් සභාපති ධුරයට පත්වීමට නියමිත රන්දීර් රුද්‍රිගු මහතා ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකි. ව්‍යවසායකයකු වන ඔහු ලබන අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ජාතික කායවර්ධන ශූරතා තරගාවලියේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා බවටද පත්ව සිටියි.

කොළඹදී වසර 2025 දී පැවැත්වීමට යෝජනා කර ඇති රටවල් 65ක් සහභාගිවෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරය සාර්ථක කර ගැනීම අද නිලවරණයෙන් පත්වන සම්මේනයේ සභාපතිවරයාට පැවරෙන ප්‍රමුඛතම වගකීමක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත පැරණිතම තෙවැනි ජාතික ක්‍රීඩා සංගමය බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ මූලාරම්භය 1926 තරම් ඈත යුගයකට විහිද ගොස් තිබේ. එහි වත්මන් නිල නාමය වසර 2006 සිට භාවිත වේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අද පැවැත්වෙන නිලවරණයේදී උප සභාපති ධුර තුනක් පිරවිය යුතු වුවත් ඒ සඳහා ඉදිරිපත්ව ඇත්තේ නාම යෝජනා දෙකක් පමණි. සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන තිලක් ජයවීර මහතා උප සභාපති ධුරයකට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම ඊට හේතුවයි.

හිස්ව පවතින උප සභාපති ධුරය පිරවීම නිලවරණයේදී පත්වන විධායක සභාවට පැවරේ.

 

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණයට (2024-28) ඉදිරිපත් වූ නාම යෝජනා -

• සභාපති ධුරයට – රන්දීර් රුද්‍රිගු මහතා (පුහුණුකරුවන්ගේ සංගමය)
• ප්‍රධාන ලේකම් ධුරයට – කපිල කුමාර (ගම්පහ) හා මිල්ටන් ද සිල්වා (කොළඹ) යන මහත්වරු
• භාණ්ඩාගාරික ධුරයට – එස්.එල්. සිසිර සමන්සිරි මහතා (කොළඹ)
• උප සභාපතිධුර (3) – නිහාල් වීරතුංග (කොළඹ), ලයනල් කුමාර (කොළඹ)
• උපලේකම් ධුරයට – කසුන් චතුරංග මහතා (කොළඹ)
• උප භාණ්ඩාගාරික ධුරයට – කිත්සිරි බණ්ඩාර මහතා (පුහුණුකරුවන්ගේ සංගමය)


අදහස් (0)

කායවර්ධන මුල් පුටුව රන්දීර් රුද්‍රිගුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.