Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා

ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)
 
ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ප්‍රමාදයෙන් ස්පාඤ්ඤයේ දී ලබන නොවැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කායවර්ධන ශූරත තරගාවලිය ශ්‍රී ලංකා සහභාගිත්වය ඉවත් කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය චෝදනා කරයි.

මෙම තරගාවලිය සඳහා කායවර්ධන සම්මේලනය නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තිදෙනකු හා පරිවාර නිලධාරීන් තිදෙනකු නිර්දේශ කර තිබුණි. නොවැම්බර් 2 වැනිදා සිට 7 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ දී මෙම ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය පැවැත්වේ.

වසර 2019 න් පසුව මෙම තරගාවලිය සංවිධානය කරන පළමු අවස්ථාව මෙයයි. ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පිණිස ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව හරහා යොමු කළ නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (23) වන විටත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබුණු බව වාර්තාවේ.

යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා කණඩායම වීසා ඉල්ලුම් කිරීමේ දී සංකීර්ණ ක්‍රියාවලියකට මුහුණ දිය යුතු බැවින් ඒ සඳහා දැන් ඉතිරිව තිබෙන කාලය ප්‍රමාණවත් නොවන බැවින් තරග සංචාරය අත්හැර දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයි කායවර්ධන සම්මේලනය පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කළ ලිපිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ජාතික ක්‍රීඩා සභාව හරහා මීට සති දෙකකට පමණ පෙර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත යොමු කර තිබෙන බව ද කායවර්ධන සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරයි. එහිදී අනුමැතිය හැරෙන්නට තරග සංචාරය සඳහා අනුග්‍රාහකයකු ක්‍රීඩා අමාත්‍යාශයෙන් ඉල්ලා තිබේ.

ඉකුත්දා කිරිකිස්තානයේ දී නිමාවූ ආසියානු ශූරතා තරගාවලියේ දී රිදී පදක්කම් දෙකක් දිනූ ආර්.ඒ.ටී.ජී. රාජපක්ෂ එහිදී ලෝකඩ පදක්කමක් දිනූ අර්ජුන් අබේකෝන් හැරෙන්නට එස්.සී.ආර්.ටී. පියරත්න, ස්පාඤ්ඤ ලෝක ශූරතා තරගාවලියට නිර්දේශිත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

ප්‍රධාන පුහුණුකරු ලෙස නෙරන්ජන් කුමාර, කළමනාකරු ලෙස නිහාල් වීරතුංග හා ජාත්‍යන්තර තරග විනිසුරු ලෙස කපිල කුමාර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට නිර්දේශ කර තිබුණි.

කායවර්ධන සම්මේලනයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා කායවර්ධන තරග සංචාරය කඩාකප්පල් වීමට ක්‍රීඩා අමාත්‍යාංශය මුළුමනින්ම වගකිව යුතු බවයි.


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.