Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි ආරවුලට මැදිවුණු මාධ්‍යවේදීහු දෙදෙනෙක් පොලිසි යති

කබඩි ආරවුලට මැදිවුණු මාධ්‍යවේදීහු දෙදෙනෙක් පොලිසි යති

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය පැවැත්වීම දිගින් දිගට කල්යමින් තිබියදී ඊට තරග වදින පාර්ශ්වයක නිලධාරීන් විසින් මාධ්‍යවේදීන් දෙදෙනකුට රිඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශය අසලදී තර්ජනය කිරීමක් පිළිබඳව ඔවුන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කබඩි සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් එහි හිටපු පාර්ශ්වයකට චෝදනා කරමින් අන්තර් ජාලයේ පළ කළ බව කියන වීඩියෝ පුවතකින් පසුව මෙම සිදුවීමට මුහුණපෑමට සිදුවූ බව මෙම මාධ්‍යවේදීන් දෙදෙනා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

ඊට චෝදනා ලබා සිටින නිලධාරීන් අතර කබඩි සම්මේලනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකුද වන බව වාර්තාවේ.

කුරුණෑගල හෙට්ටිපොලදී පසුගිය 2023  මාර්තු 24-25 පැවැති ජාතික කබඩි ශූරතා තරඟාවලියෙන් පසුව වයවස්ථානුකූලව තමන් දැරූ ධුරවලින් ඉවත්ව යුරෝපයේ සංචාරයක් සඳහා තමන් පැමිණියේ එහි රටවල් කිහිපයකදී සංවිධානය කෙරුණු කබඩි ප්‍රවර්ධන වැඩසටහන් මාලාවකට සහභාගීවීම සඳහා බව දැන් ස්විස්ටර්ලන්තයට පැමිණ සිටින ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ස්විස්ටර්ලන්තයේ සිට ඊට අනුර පතිරණ මහතා මෙන්ම හිටපු ලේකම් ආර්. සහීවන් මහතාද කරුණු දැක්වූහ.

අනුර පතිරණ මහතා එහිදී මෙසේද පැවැසීය. ‘ව්‍යවස්ථානුකුලව කබඩි සම්මේලනයේ විධායක සභාවට කරුණු දක්වලා මමත් ලේකම්වරයාත් යුරෝපයේ සංචාරයකට අවසර ගත්තා. එතනදී අපි විදේශගත වෙන නිසා තනතුරු වලින් ඉවත් වෙලා ඒ සඳහා වැඩ බලන නිලධාරින් පත් කළා. අපි ශ්‍රී ලංකාවෙන් පිටවුණේ අප්‍රේල් 4 වැනිදායි.

ඒ අනුව සභාපති ධුරයට අම්පාර  දිස්ත්‍රික් කබඩි සංගමයේ සභාපති අනස් අහමඩ්, ලේකම් ධුරයට කේ. යෝගරත්නම් මහතාත් පත් කර ගත්තා. ඒ සියලු දේවල් සිදු වුණේ විධායක සභාවේ අනුමැතියෙන් නිත්‍යානුකූලවයි.

දැන් අපි ​ෙදන්නා ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ නිලවරණයේදී බෙදුණු පාර්ශ්වයක් විසින් කබඩි සම්මේලනයේ සල්ලිත් අරන් අපි රටින් පැන්නා කියලා ලොකු කතාවක් ප්‍රචාරය කළා. ඒ කතාව තවමත් අවසන් වෙලා නෑ.

ඒ අතර මාතර දිස්ත්‍රික් කබඩි සංගමයේ සභාපතිධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා යොදා ගනිමින් අපිට පාර්ලිමේන්තුවේදීත් චෝදනා කළා. එය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට  මුවාවෙලා කළ චෝදනා.

මේ ආකාරයට අප දෙදෙනාට එරෙහිව දිගින් දිගටම එල්ල කරමින් සිබෙන චෝදනා අද වෙනකන් ඔප්පු කර ගන්න බැරි වෙලා තිබෙනවා. පෙත්සම් යනවා.

විභාග කරනවා. නමුත් අද වෙනකන් අපි වැරදිකරුවන් වෙලා නෑ. අපිට කියන්න තියෙන්නේ එකයි. අපි හොරු කළ අයට උත්තර දෙන්න අපේ යුරෝපා සංචාරය අවසන් කළ සැණින් අපි ලංකාවට එනවා. කනගාටුවට කාරණය අපි ගැන සාමාජයට දෙන මේ වැරදි මතයන් තුළ අපේ දූ දරුවන්, ඥාතීන් පත්ව තිබෙන අපහසුතාවයයි.’

මේ අතර 2023 සැප්තැම්බර් 12 වැනිදා අවසන් වරට ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය රිඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ එහිදී පැන නැගුණු විරෝධතායි.

ඒ අවස්ථාවේ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත්වී නිලවරණය තාවකාලිකව අත්හිටවූ අතර ඉතා ඉක්මණින් නැවත නිලවරණය කැඳවන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.

එසේ වූයේ එදින නිලවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශය වටලන බවට කබඩි ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිසක් ප්‍රකාශ කළ තත්ත්වයක් තුළදීය.

කෙසේ වුවත් එළඹෙන මාර්තු මාසය අවසානයට පෙර කබඩි නිලවරණය පැවැත්වෙන බව මේ වන විට ප්‍රකාශවී තිබේ. ඒ සඳහා අපේක්ෂකයන් හයදෙනෙකු මේ වනවිට නාම යෝජනා බාර දී තිබේ.

දැනට විදේශගතව සිටින අනුර පතිරණ මහතා කබඩි සම්මේලනයේ සභාපති ධුරයට පත් වන්නේ 2019 ජූලි 15 වැනිදා පැවැති නිලවරණයේ දීය. ඔහුගේ පාලන කාලයේ දී යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩා සමාජ බලධාරීන්ට විනය චෝදනා මත තහනමක් පැනවුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස එම ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාතික කබඩි සංචිතවලට හා කබඩි සම්මේලනය මෙහෙය වූ තරඟමාලා සඳහා සහභාගී කිරීමෙන් වැළැක්වීමට තහනමට ලක් වූ ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානින් කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ අභියාචනා කීපයක් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ විභාග කෙරුණු අතර කෙසේවුවත් එයින් කබඩි සම්මේලනයේ එම තීරණයට බාධාවක් නොවීය.

ඒ අතර ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කබඩි සම්මේලනයේ පසුගිය පාලන කාලයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් ද විභාග කිරීමෙන් පසුව නිශ්ප්‍රභාවී ඇතැයි ද වාර්තා වේ.


අදහස් (0)

කබඩි ආරවුලට මැදිවුණු මාධ්‍යවේදීහු දෙදෙනෙක් පොලිසි යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.