Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් කමිටුවේ පාපැදි අසුනට සංගීත පුටු තරගයක්

ඔලිම්පික් කමිටුවේ පාපැදි අසුනට සංගීත පුටු තරගයක්

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජනය අරභයා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පාර්ශ්ව දෙකක් අතර පැන නැගී තිබෙන අර්බුදය විසඳා ගැනීම එම කමිටුවේ විධායක සභාව වෙත යොමු කරන බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

කමිටුවේ මීළඟ විධායක සභා රැස්වීම ලබන බ්‍රහස්පතින්දා  (7) කැඳවා තිබේ. කෙසේ වුවත් මෙම අර්බුදයට මැදිව සිටින පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය පෙරේදා (27) ජාතික ඔලිම්පික් කමිටුවේ කැඳවීම් සඳහා සහභාගි නොවීය.

ඔවුන් ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇත්තේ පාපැදි සම්මේලනය අරබයා අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බැවින් නීති උපදෙස් මත තමන් ඊට සහභාගි නොවීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව වෙනුවෙන් එහි ලේකම් නලින් අධිකාරිආරච්චිගේ හා උප සභාපතිවරයකු වන ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා පෙරේදා කැඳවීම් හමුවේ ඔලිම්පික් කමිටුවේ පෙනී සිටියහ.

ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් නීත්‍යානුකූලව නියෝජනය කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් එහි වත්මන් විධායක සභාව අරබයා පවතින සියලු අවහිරතා ඉවත් කර එම අවස්ථාව වහාම සලසාදිය යුතු බව නලින් අධිකාරිආරච්චිගේ මහතා පෙරේදා ඔලිම්පික් කමිටුවට දැඩි ලෙස අවධාරණය කර සිටි බව වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන පාර්ශ්වය ලෙස පිළිගන්නා බවට සහතික කරමින් ඔලිම්පික් කමිටුවට යළිත් ලිපියක් යොමු කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතා පැවසුවේ මෙම ප්‍රශ්නය අරබයා ශ්‍රී ලංකාවට වසර 2019 සිට අන්තර්ජාතික පාපැදි තරග සහභාගිත්වය අහිමිවී තිබෙන තත්ත්වයක් තුළ එය විසඳා ගැනීම අර්බුදයට මැදිව සිටින සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ අර්බුදයට මැදිව සිටින පාර්ශ්ව එකඟතාවයෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සොයාගත යුතු බවත් ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ සියලු සහයෝගය හිමිවන බවත්ය.


අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ පාපැදි අසුනට සංගීත පුටු තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.