ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් තීරණාත්මක තරගවලින් එකක් වූ සිංගප්පූරුව සමග තරගයෙන් ලකුණු 74-61 ක් වශයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (04දා) පැවැත්විණ.
මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටය සදහා තරග කරන සුපිරි කණ්ඩායම් හතර තුළ ප්‍රථම ස්ථානයට පත්විය. එක් තරග වටයක් නිමාවනවිට එහි දෙවැනි ස්ථානය මැලේසියාවටත් තෙවැනි ස්ථානය සත්කාරක සිංගප්පූරුවටත් සිව්වැනි ස්ථානය හොංකොං රාජ්‍යයටත් හිමිව තිබිණ.
ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගයේ පළමු කාර්තුව තුළ දැඩි තරගකාරිත්වයක් දැකගත හැකි වූ අතර, එම කාර්තුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළේ ලකුණු 18-12 ක් වශයෙනි. එහිදී දුලංගි වන්නිතිලක සහ හසිතා මෙන්ඩිස් එක්ව සිංගප්පූරු සබඳතා බිඳදමමින් ශ්‍රී ලංකා කන්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමිකර දුන්හ.
පිටියේ මධ්‍ය ක්‍රීඩිකාව ලෙස කටයුතු කළ ගයාංජලී අමරවංශ විශේෂ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා විදින්නිය වූ තර්ජිනී ශිවලිංගම්ට පන්දුව ලබාදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කළාය.
වැඩි උපක්‍රම ක්‍රියාත්මක වූ දෙවැනි කාර්තුවේ ජයද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර, එහිදී එම කාර්තුව ලකුණු 19-16 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කන්ඩායමට හැකිවිය. දෙවැනි කාර්තුව නිමාවේදී සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ ලකුණු 37-28 ක් ලෙස ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රාහී මාවතේ තබමිනි.
ග්‍රහණය ලිහිල් නොකළ තෙවැනි කාර්තුවේ ජයද හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ ලකුණු 21-14 ක් වශයෙනි. එම කාර්තුව ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා නායිකා චතුරාංගනී ජයසූරියගේ සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායකගේ දක්ෂතා බොහෝ සෙයින් ඉවහල් විය. තෙවැනි කාර්තුව අවසානයේ සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ 58-42 ක් වශයෙනි.
සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආදේශන කිහිපයක් සිදුවූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් සිදුවූ අඩුපාඩු කිහිපයක් නිසා එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 16ක් රැකරගනිද්දී සිංගප්පූරුවට රැස්කරගත හැකිවූයේ ලකුණු 19ක් පමණි. ඒ අනුව සමස්ත තරගය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 74-61 ක් වශයෙනි.
මේ අතර ඊයේ පැවති අනෙකුත් තරගවලින් බෘනායි රාජ්‍යය ලකුණු 33-66 ක් ලෙස පරාජය කළ තායිලන්තයද පාකිස්තානය ලකුණු 36-62 ක් ලෙස පරාජය කළ පිලිපීනයද ජපානය ලකුණු 57-65 ක් ලෙස පරාජය කළ ඉන්දියාවද චීන තායිපේ ලකුණු 10-73 ක් ලෙස පරාජය කළ මාලදිවයිනද හොංකොං රාජ්‍යය ලකුණු 53-43 ක් ලෙස පරාජය කළ මැලේසියාවද ඊළග වටයේ බලාපොරොත්තු අලුත් කරගත්තේය.
හෙට (05 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම, මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ටද අනිද්දා (06 වැනිදා) හොං කොං සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ටද තරග වැදීමට අපේක්ශිතය. මේ වනවිට තරගාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙස ශ්‍රී ලංකාව සහ මැලේසියාව තමන් සහභාගි වූ සියලු තරග ජයගෙන ඉදිරියෙන් පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.