Last Update  :  2025-11-23 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක තරග සංචාරයට 4 කට සීමාවෙයි

ලෝක තරග සංචාරයට 4 කට සීමාවෙයි

editorial - 2025 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ 
   
සෞදි අරාබියේ කොහොබාර් නුවරදී ලබන බ්‍රහස්පතින්දා (27) ආරම්භ වන  ලෝක ශූරතා කායවර්ධන තරගාවලියට නිර්දේශවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11දෙනාගෙන් හත් දෙනෙකුම වියදම් සොයා ගත නොහැකිවීමෙන් තරග සංචාරයෙන් ඉවත්වී තිබේ.මෙම තරගාවලිය දෙසැම්බර් 1 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.
 
එහිදී එම ප්‍රශ්නය මුල් කර ගනිමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් කුමාර, සහය පුහුණුකරු ධම්මික විජේකෝන් හා කළමනාකරු වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුද සංචාරයෙන් ඉවත්වී තිබේ.
 
ඒ අනුව ඊ.ඒ.සී.කේ.අමරසිංහ, චාරුක පෙරේරා, එස්.ඒ.ආර්.අයි.පියරත්න හා ඩී.පී.එස්. චාමර ඩයස් යන ක්‍රීඩකයන් පමණක් මෙම තරග සංචාරයට සහභාගි වන බව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පවසයි.මෙම ලෝක ශූරතා සංචාරය සදහා රුපියල් හැත්තෑ ලක්ෂයකට වැඩි වන වැයක් එම සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර සිටියත් එහිදී කණ්ඩායමට ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා වන වියදම් පමණක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකගවී ඇතැයි වාර්තා වේ.
 
කෙසේවූවත් ගුවන් ප්‍රවේශ පත්‍රය හැරෙන්නට තරගාවලියට සහභාගිවීම සදහා ක්‍රීඩකයෙකුට තවත් අවම රුපියල් ලක්ෂ තුනකට වැඩි වියදමක් පෞද්ගලිකව දැරීමට සිදුව තිබෙන බැවින් ඔවුන් කැමැත්තෙන් තරග සංචාරයෙන් ඉවත්වූ බව කායවර්ධන සම්මේලනය පවසයි.
 
මේ අතර තරගාවලියට සමගාමිව එහිදී පැවැත්වෙන ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ මහ සමුළු වාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු හා එහි ලේකම් කපිල කුමාර යන මහත්වරු සහභාගි වේ.
 
ඒ සදහා පෞද්ගලිකව වියදම් දරමින් තමන් සහභාගි වන බව ඔවුන් පවසති.
 
තරග සංචාරයට නිර්දේශවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් අතර ඉකුත්දා එහි වියදම් සම්බන්ධයෙන් විශේෂ  සාකච්ඡාවක් පැවැති අතර එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසන් නිගමනයවී ඇත්තේ ඔවුන් සදහා ගුවන් ප්‍රවේශ පත්‍රය පමණක් ලබා දිය හැකි බවයි.
   
ඔවුන් ප්‍රකාශ කරන්නේ ලෝක ශූරතා තරග සංචාරයක් වන බැවින් ඒ සදහා අනුග්‍රාහය දැක්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් හා යුතුකමක් වන බවයි.තමන්ට අතින් වියදම් දරා ගෙන යාමට හැකියාවක් නැති බැවින් එහිදී එකම විකල්පය වන්නේ සංචාරයෙන් ඉවත්වීම බවත් ලෝක ශූරතා ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.එහිදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හා පරිවාර නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වියදම් ඇස්තමේන්තුව ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ විසි හතරක මුදලකි.
 
කායවර්ධන සම්මේලනයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවැසුවේ මෙම වසර සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටි පරිදි සම්මේලනයේ වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර සිටියත් මෙතෙක් මෙම වසර සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සම්මේලනයට ලැබී ඇත්තේ ඩුබායි නුවරදී පැවැති 2025 ආසියානු ශූරතා තරගාවලි ඇතුළුවීමේ ගාස්තුව පමණක් බවයි.
 
ඒ අතරම කායවර්ධන සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය කළ දැනුවත් කිරීමට අනුව වසර 2026 සදහා රුපියල් කෝටි තුනකට වැඩි ජාතික හා ජාත්‍යන්තර තරග වියදම් සැළැස්මක් අමාත්‍යාංශයට මේ වන විටත් යොමු කර තිබේ.

අදහස් (0)

ලෝක තරග සංචාරයට 4 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.