Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මවට සහාය දෙමින් දියණිය ඉවත් වෙයි

මවට සහාය දෙමින් දියණිය ඉවත් වෙයි

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනයේ නිලවරණය (2026 -28) අද (22) පෙරවරු 11ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.වසර 2024 මැයි 30 වැනිදා ක්‍රීඩා ඇමැතිවරයා විසින් දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමෙන් පසුව එය නැවැත පණ ගැන්වීම සදහා එහි නිලවරණය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

මෙවර සභාපති ධූරය සදහා නවක නිලධාරීනියන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනී වජිරා නෙත්තිකුමාර රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ ලේකම් ඩේසිකා ප්‍රියංකා විතාරණ හා මහනුවර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ විධායක සභික රුක්ෂි නෙත්තිකුමාර යන මහත්මීහු එසේ සභාපති ධූරයට ඉදිරිපත් වූවෝ වෙති.

රුක්ෂි නෙත්තිකුමාර මහත්මිය සභාපති අපේක්ෂිකා වජිරා නෙත්තිකුමාර මහත්මියගේ දියණිය වන අතර ඇය සිය මවට සහයෝගය පළ කරමින් ඉදිරිපත් කළ සිය අපේක්ෂකත්වය අද නිලවරණය කැඳවන අවස්ථාවේදී ඉල්ලා අස්කර ගැනීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

ඒ අනුව අද දැල්පන්දු නිලවරණය පාර්ශව දෙකක් අතර දෙකොන් සටනක් බවට පත්ව තිබේ.දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් වන රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනී ට්‍රික්ෂී නානායක්කාර මහත්මිය ඇතුළු පාර්ශවයක සහයෝගය සභාපති අපේක්ෂිකා ඩේසිකා විතාරණ මහත්මියට ලැබී තිබේ.ඒ අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක්ද වන ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ හිටපු සභාපතිනී දමයන්ති ජයතිලක මහත්මිය වජිරා නෙත්තිකුමාර මහත්මියගේ පාර්ශවයෙන් මෙවර ප්‍රධාන ලේකම් ධූරයට තරග වදියි.

එහිදී ඇගේ ප්‍රතිවාදීනිය වන්නේ පාසල් දැල්පන්දු සංගමයේ හිටපු ලේකම් ෂිරෝමී කුරුප්පු මහත්මියයි.

නිලවරණයේදී ප්‍රකාශිත පිළිගත් නාමයෝජනා වලට අනුව  භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික ධූර සදහා වන පත්වීම් නිතරගයෙන් සිදු කෙරෙනු ඇත.ඒ එම ධූර සදහා එක් නාම යෝජනාවක් බැගින් පමණක් ඉදිරිපත්ව තිබූ බැවිනි.

දැල්පන්දු සම්මේලනය වසර 2024 මැයි 30 වැනිදා අත්හිටුවන විට එහි සභාපති ධූරය දරමින් සිටි ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීය.

හොංකොං දේශයේදී ලබන අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම අද පත් වෙන නව දැල්පන්දු විධායක සභාවේ මෙම වසරේ ප්‍රධානතම කටයුත්ත වනු ඇත. වසර 2027 දී සිඩ්නි නුවරදී පැවැත්වෙන මීළග ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් එහි ශූරියන් හා අනුශූරියන් නිර්දේශ ලබයි.

 


අදහස් (0)

මවට සහාය දෙමින් දියණිය ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.