Last Update  :  2026-03-10 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නව ජාතික දැල්පන්දු පුහුණුකරු සොමිතා

නව ජාතික දැල්පන්දු පුහුණුකරු සොමිතා

editorial - 2026 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ  

නව ජාතික දැල්පන්දු (නෙට්බෝල්) පුහුණුකරු ධූරයට ප්‍රවීණ දැල්පන්දු පුහුණුකාරිණීයක් වන සොමිතා ද අල්විස් මහත්මිය නිර්දේශ කර තිබේ.ඒ සදහා ලැබුණු අයැදුම්පත් දෙකක් අතරින් ඇය ඊට නිර්දේශවී සිටියි.

සොමිතා ද අල්විස් මහත්මියගේ පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමි විය යුතුය.ඒ අනුව ඇගේ නිර්දේශ කිරීම මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක්ද වන ඇය මීට පෙර ජාතික කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරු ධුරයද දරා තිබේ.ආසියානු ශූරතා හා ලෝක ශූරතා දැල්පන්දු තරග සංචාර කීපයකටද ශ්‍රී ලංකා කණ්ඩායමේ  ක්‍රීඩිකාවක් ලෙස සහභාගිවී තිබේ.

ජාතික දැල්පන්දු ශූරතා  කුසලාන වැඩිම වාර ගණනක් දිනා ගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ඇතුළුව මෙරට ජනප්‍රිය දැල්පන්දු ක්‍රීඩා සමාජ කීපයකත් ප්‍රධාන පුහුණුකරු ලෙස ඇය කටයුතු කර තිබේ.

නව ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයේ මෙම වසරට නියමිත ප්‍රමුඛතම වගකීම වන්නේ හොංකොං රාජ්‍යයේදී ලබන අගෝස්තු 6 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමයි.

අවසන් වරට වසර 2022 දී සිංගප්පූරුවේදී පැවැති 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජය ගෙන ඇති ශ්‍රී ලංකාව අනතුරුව වසර 2024 දී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති 13 වැනි ආසියානු තරගාවලියේදී හිමි කර ගත්තේ අනුශූරතාවයි. ශ්‍රී ලංකාව මෙතෙක් ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගත් වාර ගණන හයකි.

මෙවර ආසියානු තරගාවලියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එහි ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක වසර 2027 සිඩ්නි නුවරදී පැවැත්වෙන මීළග ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබන බැවිණි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සදහා සහාය පුහුණුකරු ධුර කීපයක්ම නිර්දේශ කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.


අදහස් (0)

නව ජාතික දැල්පන්දු පුහුණුකරු සොමිතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.