Last Update  :  2025-12-10 12:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් නිලවරණයට තවමත් දිනයක් නෑ

ඔලිම්පික් නිලවරණයට තවමත් දිනයක් නෑ

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය මේ වසරේ දෙසැම්බර් 28 වැනිදා අවසන් වූවත් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ මීළග නිලවරණය කැදවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

අවසන් වරට වසර 2021 දෙසැම්බර් 28 වැනිදා පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයෙන් (2021 - 25) තේරී පත්වූ වත්මන් විධායක සභාවේ නිල කාලය මෙම දෙසැම්බර් 28 වැනිදා අවසන් වේ. නව විධායක සභාවක් නිර්දේශ කර ගැනීමේ නිලවරණයට පූර්ව සූදානමක් ඊයේ (7) වන විටත් කමිටුව පළ කර නොතිබුණි.

ලංකාදීප ය කළ විමසුමකදී සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ මේ මොහොතේදී නිලවරණය කැදවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ පසු ගිය කාල සමයේ සිදුවී ඇතැයි කියන මුල්‍ය අවභාවිතා කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර විගණනයක් කරමින් පවතින බවත් එය අවසන් වන තුරු නිලවරණය කැදවීම කළ නොහැකි බවත් ඔහු එහිදී පැවැසීය.

සුබ්‍රමනියම් මහතා මෙසේද පැවැසීය. "ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය මේ විගණනය අවසන් කිරීමෙන් පසුව පවත් වන්න කටයුතු කරනවා. ඇතැම් විට ඒ සදහා තවත් මාස කිපයක් ගත විය හැකියි.

අප ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් ලබා ගෙන තිබෙනවා. අපට මේ අභ්‍යන්තර විගණනය ඉක්මණින්ම අවසන් කරන්න අවශ්‍යයි. නමුත් කමිටුවේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා ලබා සිටින නිලධාරීන් දෙදෙනෙකු විමර්ෂණ කටයුතු වලට පෙනී සිටීම ප්‍රමාද කිරීම නිසා මේ විගණනය අවසන් කිරීමේ ප්‍රමාදයක් පැන නැගී තිබෙනවා. ඒ වගේම මීළග නිලවරණය කැදවීමට පෙර අවසන් කළ යුතු 2024 වසරේ කමිටුවේ ගිණුම් වාර්තාව විගණනය කිරීමත් තවම අවසන් වෙලා නෑ" යයි ද සුබ්‍රමනියම් මහතා පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව සභාපති, මහ ලේකම්, භාණ්ඩාගාරික, උප ලේකම්, උප භාණ්ඩාගාරික යන ධූර හැරෙන්නට උප සභාපති ධූර හතරකින් හා  සභීක ධූර හතරකින්ද සමන්විතය. කෙසේවූවත් පසුගිය නිලවරණයෙන්ද තේරී පත්වූ වසර 2009 සිට මහ ලේකම් ධූරය දැරූ මැක්ස්වෙල් ද සිල්වා මහතාට පසුගිය මැයි මාසයේ සිට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් චෝදනා කීපයක් මුල් කර ගනිමින් තහනමක් පැනවීය. එය ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවද අනුමත කළ බව ප්‍රකාශ විය. ඉන් අනතුරුව එහි උප ලේකම් ධූරයේ කටයුතු කරමින්  සිටි චන්දන ලියනගේ මහතාටද ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ නිර්දේශයෙන් තහනමක් පැනවූ බව ප්‍රකාශ විය.

කෙසේවූවත් මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයේ කටයුතු කරන්නේ කළින් විධායක සභිකයෙකු ලෙස කටයුතු කළ රිෆ්ඩි ෆාමි මහතාය.

මේ අතර වසර 1997 සිට 2018 දක්වා දීර්ඝතම කාලයක් ජාතික ඔලිම්පික් කම්ටුවේ සභාපති ධූරය හෙබවූ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පුත්, ශ්‍රී ලංකා රග්බි (සංගමයේ) සභාපති,  පවිත්‍ර ප්‍රනාන්දු මහතා ද මේ වන විට කමිටුවේ විධායක සභික ධූරයක් දරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන ඒකක හෙවත් අනු කමිටු 16 ක් මේ වන විට ක්‍රියාත්මකය. පසුගිය වසරකට වැඩි කාලයක් තිස්සේ ජාතික කමිටුවේ පැන නැගුණු පරිපාලන ආරවුල් හමුවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට ලබා දුන් අරමුදල් සීමා කිරීමටද පියවර ගත්තේය.

වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෑතදී එහි වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරී ධූරයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.


අදහස් (0)

ඔලිම්පික් නිලවරණයට තවමත් දිනයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.