Last Update  :  2024-12-13 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports තරග 10 කට පසුව වර්ස්ටපන් යළිත් ජය මාවතට

තරග 10 කට පසුව වර්ස්ටපන් යළිත් ජය මාවතට

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2024) ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ 21 වැනි අදියර වූ බ්‍රසීල ගොන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරන මැක්ස් වර්ස්ටපන් සමත් විය. මෙම ශූරතාවලියේදී වර්ස්ටපන් ජයගත් 8 වැනි ගොන් ප්‍රී තරගය මෙය වන අතර ඔහු මෙම ජය ලැබුවේ පිට පිටම තරග 10 ක් පරාජය වීමෙන් පසුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

කෙසේ වුවත් ඉකුත් ජූනි මාසයේදී පැවැති ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජය ගැනීමෙන් අනතුරුව ජූලි මාසයේදී පැවැති මහා බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගයේත්, අගෝස්තු මාසයේදී පැවැති නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයේ, සැප්තැම්බර් මස පැවැති සිංගප්පූරු ගෝන් ප්‍රී තරගයේත් දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට වර්ස්ටපන් සමත් විය. 

කිලෝ මීටර් 4.309 ක දුරකින් යුත් වට 71 කින් සමන්විත බ්‍රසීල ගෝන් ප්‍රී තරගය ජයගැනීම සඳහා වර්ස්ටපන්ට පැය 2 යි, විනාඩි 06 යි, තත්පර 54.430 ක කාලයක් වැය විය. ඉදිරිපෙළ ආරම්භක ස්ථානයේ සිට තරගය ඇරඹූ ඔහුට එක් වටයක් නිමා කිරීම සඳහා ගත වූ අවම කාලය තත්පර විනාඩි 1 යි, තත්පර 20.472 ක් ලෙස සටහන් විය. 

වර්ස්ටපන්ට වඩා තත්පර 19.477 ක් පසුපසින් තරගය නිමා කළ ඇල්ෆයින් රෙනෝල්ට් කණ්ඩායමේ එස්ටබන් ඕකන්, තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගතතේය. ඇල්ෆයින් රෙනෝල්ට් කණ්ඩායමේ සෙසු සාමාජිකයා වන පෙරී ගැස්ලි තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ වර්ස්ටපන්ට වඩා තත්පර 22.532 ක් පසුපසින් තරගය නිමා කරමිනි. 

පළමු ස්ථානය දිනාගැනීම වෙනුවෙන් වර්ස්ටපන්ට ලකුණු 26 ක්ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීම වෙනුවෙන් ඕකන්ට සහ ගැස්ලිට පිළිවෙලින් ලකුණු 18 ක් සහ 15 බැගින්ද හිමිවිය. මෙම තරගයේ ජයත් සමග අදියර 21 ක් අවසානයේ ලකුණු 393 ක් ලබා තවදුරටත් රියැදුරන් අතර පෙරමුණ රැකගැනීමට වර්ස්ටපන්ට හැකි විය. 

එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ජයග්‍රහණ 3 ක් සහ දෙවැනි ස්ථාන 6 ක් ලබා සිටින මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් සමත්ව සිටියි. එහිදී ඔහු ලකුණු 331 ක් ලබා වර්ස්ටපන්ට වඩා තවත් ලකුණු 62 ක් පසුපසින් සිටියි. ජයග්‍රහණ 3 ක් සහ දෙවැනි ස්ථාන 2 ක් සමග ලකුණු 307 ක් ලබා සිටින ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක්ට සමස්ත ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිව තිබේ. 

මෙවර ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 593 ක් ලබා පෙරමුණ ගෙන සිටියි. ඔවුන්ට කරට කර තරගයක් දෙමින් සිටින ෆෙරාරි කණ්ඩායම ලකුණු 557 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 544 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවේ. 

මෙවර තරගවාරය නිමා වීමට ඉතිරිව ඇත්තේ තවත් ගෝන් ප්‍රී තරග 3 ක් පමණක් බැවින් කණ්ඩායම් ශූරතාව සඳහා එහිදී ඉතා තියුණු සටනක් දැක බලා ගත හැකිය. මෙම මස 23 වැනිදා ලාස් වේගාස් ගෝන් ප්‍රී තරගය පැවැත්වෙන අතර දෙසැම්බර් මස 1 වැනිදා කටාර් ගෝන් ප්‍රී තරගයත්, 8 වැනිදා වැනිදා අබුඩාබි ගෝන් ප්‍රී තරගයත් පැවැත්වීමට නියමිතය. 

-036 


අදහස් (0)

තරග 10 කට පසුව වර්ස්ටපන් යළිත් ජය මාවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.