ආසියානු දැල්පන්දු තරගාවලියේ තීරණාත්මක දෙවැනි වටයේ තරග සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට (04 දා) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව මූලික වටයේදී සියලු තරග ජයගත් කණ්ඩායම් (ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව සහ හොංකොං) කුසලානය ශූරතාව සඳහාද දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් පළඟ ශූරතාව සදහාද තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් බඳුන ශූරතාව සඳහාද තරග කිරීමට නියමිතය.
අද දිනයේදී ශ්‍රී ලංකා කන්ඩායම සිංගප්පූරුව සමග තීරණාත්මක තරගයකට මුහුණ දීමට නියමිත අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා කන්ඩායම, මැලේසියාව සමග හෙට (05දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ටද අනිද්දා (06දා) හොං කොං සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ටද තරග වැදීමට සූදානමින් සිටී.
මෙම මස 07 වැනිදා තරගාවලියේ විවේකී දිනයක් වන අතර, අවසන් පූර්ව තරග මෙම මස 08 වැනිදාද අවසන් මහා තරගය මෙම මස 09 වැනිදාද පැවැත්වීමට නියමිතය.
පෙරේදා ඉන්දියාව සමග පැවති තරගය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ආශීර්වාද පතා විශේෂ බෝධි පූජාවක් සිංගප්පූරුවේ ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වුනි.
“තරගාවලිය ජයගැනීම අපිට එතරම් අපහසු නැහැ” යයි ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා චතුරාංගනී ජයසූරිය කියයි.
“අපි පෙරේදා දවසේ අපි සූදානම් වෙලා ආවේ ඉන්දීය කණ්ඩායමට හොද තරගයක් දෙන්නයි. ඒ වගේම අපිට ඒක කරන්න පුලුවන් වුණා... අපි ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුනු 100 කට වඩා රැස් කලා. එසේම අපිට පුලුවන් වුනා චීන තායිපේ කන්ඩායමට මෙන්ම ඉන්දියාවටත් ලකුනු ශතකයක් වාර්තා කරන්න.
ඇත්තටම අපේ සැලසුමක් තුබුණේ නැහැ මූලික වටයෙදි ලකුනු 100 බැගින් රැස් කරන්න. නමුත් කාර්තුවලදි අපිට තේරුණා අපේ සලසුම් සමග අපිට ලකුනු 100 ක් ගහන්න පුලුවන් කියලා. ඒවගේම අපිට මෙම තරග දෙක වැදගත් වුනා සිංගප්පූරුව සමග පෙර සූදානමක් වීමට. එනිසා අපි කාර්තුවලදී වෙනස්කම් කරමින් සියලුම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමේ අවස්තාව ලබාදුන්නා.
අපි සැලසුම් කරලා තිබුණේ තරගයෙන් තරගය ඉදිරියට යන්නයි. අපිට අද තරගය තියෙන්නේ සිංගප්පූරු කණ්ඩායමත් සමගයි. ඒ තරගයටත් හොදින් මුහුණ දෙන්න මමත් මගේ කණ්ඩායමත් සූදානමින් ඉන්නවා. අපිට පොඩි හරි අභියෝගයකට ඉන්නේ සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් දෙක විතරයි. අපි පුහුනුකාරිනී තිලකා ජිනදාස මහත්මිය සමග එකතුවෙලා දිනන්න පුලුවන් තරග සැලසුමක් දාලා තියෙනවා. තරගාවලිය සිංගප්පූරුවේ පැවැත්වෙන නිසා ඔවුන් අපිට විශේෂ අභියෝගයක් දේවි.
අපි දන්නවා සිංගප්පූරු ප්‍රේක්ෂකයන් ඔවුන් ක්‍රීඩා කරද්දි වැඩි පිරිසක් ඉන්නවා. එහෙත් අපි ඒ දේවල් සදහා අවධානය යොමු නොකර අපේ ක්‍රීඩාව අපි කරලා ජයග්‍රහණය කරන්න තමයි අපේක්ෂාව. සිංගප්පූරුව අපිට අභියෝගයක්, එහෙත් අපි දිනනවා” යයිද චතුරාංගනී ජයසූරිය වැඩිදුරටත් පැවසුවාය.
“සිංගප්පූරුව අපිට අභියෝගයක්, එහෙත් අපි දිනනවා” යයි ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනෙවිය කියන්නීය.
“ඉන්දීය තරගය වගේම චීන තායිපේ තරගයත් අපි බලාපොරොත්තු වුණාට වඩා පහසු වුණා.”
“ඉන්දීය කණ්ඩායමේ හිටිය බහුතරයක් ක්‍රීඩිකාවන් අඩි 06 අගල් 07ට වඩා උස ක්‍රීඩිකාවන්. අපි ඔවුන්ගෙන් මීට වඩා හොඳ තරගයක් බලාපොරොත්තු වුණා. එහෙත් ඔවුන්ගෙන් තරගයක් නොලැබුණු නිසා අපිට ඔවුන්ට එරෙහිවත් ගෝල 100ක් වාර්තා කරන්න හැකි වුණා”
“අපි දැනගෙන හිටියා මෙම තරග අපිට ඉතාම පහසුවෙන් ජයගන්න පුලුවන් තරග කියලා. අපේ සැලසුමක් තිබුනේ නැහැ ලකුනු 100 ක් ගහන්න. එහෙත් අපේ උපක්‍රමත් සමග අපිට ඒ දේ පහසුවෙන් කරන්න පුලුවන් වුනා. තර්ජිනීට ඉන්දියාව සමග තරගය විශේෂ තරගයක් වුණා. මොකද ඇය අවුරුදු 04 කට පසුව ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ. ඇය නැවතත් කණ්ඩායමට පැමිනීම අපිට විශාල වාසියක් වුනා. මම කාර්තු හතරෙදිම ක්‍රීඩිකාවන් ආදේශ කලා. ඒ හැම උපක්‍රමයක්ම සාර්ථක වුනා. කන්ඩායම එකට එකාවන්ව ක්‍රීඩා කලා”
“අපිට සිංගප්පූරුව සමග ඊලඟ තරගය ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒ තරගය විතරක් නෙමෙයි මැලේසියාව සමගත් හොංකොං සමගත් අපිට තිබෙන තරග විශේෂයි. මොකද මේ තරග ජයගන්න කන්ඩායම තමයි තරගාවලියේ කුසාලාන වටයේ ඉදිරියට යන්නේ. ඉතින් අපිට එම තරග ජයගන්න මානසික ඒකාග්‍රතාව හරිම වැදගත්. ඒ සදහා ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉවහල් වෙනවා. එනිසා මම ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දැනට කන්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික ඒකාග්‍රතාවත් ඉහළින් තිබෙනවා. එනිසා මෙම තරගාවලිය ජයගැනීම අපිට එතරම් අපහසු නැ” යයිද තිලකා ජිනදාස මෙනවිය පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.