Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොෂින්ටන්හිදී නඩාල් යළිත් තරග බිමට

වොෂින්ටන්හිදී නඩාල් යළිත් තරග බිමට

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන ස්පාඤ්‍ඤයේ රෆායල් නඩාල්, මාසයක පමණ කාලයකින් පසුව ඇමරිකාවේ වොෂින්ටන් විවෘත තරගාවලියේදී යළිත් තරග බිමට අවතීර්ණ වීමට සුදානමින් සිටින බව එම තරගාවලියේ සංවිධායකයෝ පවසති.

ප්‍රංශ විවෘත ශූරතාවලියේ අවසන් මහ තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවික් හමුවේ පරාජයට වීමත් සමග දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමින් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් විය‍.

ප්‍රංශයේ රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණ රැසකට හිමිකම් කියා ඇති නඩාල්, එහිදී පරාජයට පත්වූ තෙවැනි අවස්ථාව ලෙස එය සටහන් විය. ලොව වැඩිම ප්‍රංශ විවෘත ශූරතා සංඛ්‍යාවක් දිනා සිටින ක්‍රීඩකයා වන ඔහු එහිදී දිනා ඇති ප්‍රංශ විවෘත ශූරතා සංඛ්‍යාව 13 කි.

මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට නඩාල් සමත්ව සිටින අතර ඊට ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් ඇතුළත්ව තිබේ. ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩකයා ලෙස ඔහු ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම වාර්තාවකටද හිමිකම් කියයි.

මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල්, ටොකියෝ ඔලිම්පික් උළෙල සඳහාද තමා සහභාගි නොවන බව පවසා සිටි අතර සිය කණ්ඩායමේ සාමාජිකයන් සමග පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම තීරණයට එළඹුන බවද සඳහන් ක‍ළේය.

මෙම වසර මුලදී පිට කොන්දේ ආබාධයකින් පෙළුණු නඩාල්, අප්‍රේල් මස මැදදී මැටි පිටි තරග වාරය අරම්භ වීමට පෙර සහභාගි වූයේ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය සඳහා පමණි. එහිදී ඔහු අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් විය.

''ඉදිරියේදී මම නැවතත් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා. ඇමරිකානු විවෘත ශූරතාවලිය සඳහා සූදානම් වීමට වොෂින්ටන් විවෘත තරගාවලිය වඩාත් වැදගත් වනු ඇතැයි මට හිතෙනවා." යැයි සිය ආගමනය සම්බන්ධයෙන් අදහස් දක්මින් නඩාල් කියා සිටියේය.

නඩාල් වොෂින්ටන් විවෘත තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාවද ‍මෙය වන අතර එම තරගාවලිය මේ මස 31 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වේ.

-036

 


අදහස් (0)

වොෂින්ටන්හිදී නඩාල් යළිත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.