Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු මුල් පුටුව වැඩි ඡන්දයෙන් වජිරාට

දැල්පන්දු මුල් පුටුව වැඩි ඡන්දයෙන් වජිරාට

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවැති ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී  (2026 - 28) සභාපති ධූරයට වජිරා නෙත්තිකුමාර මහත්මිය (කළුතර) වැඩි ඡන්දයෙන් තේරී පත් වූවාය.එහිදී ඇය ඡන්ද16 ක් ලබා ගන්නා අතර ප්‍රතිවාදීනී අපේක්ෂිකා ඩේසිකා ප්‍රියංකා විතාරණ (රාජ්‍ය සේවා) මහත්මියට ලබා  ගත හැකිවූයේ ඡන්ද හතරක් පමණි.

අනු සංගම් 26 කගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති දැල්පන්දු සම්මේලන නිලවරණයේදී ප්‍රධාන ලේකම් ධූරයට  ඡන්ද 17 ක් ලබා පත් වූයේ ගම්පහ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ දමයන්ති ජයතිලක මහත්මියයි.ප්‍රතිවාදී අපේක්ෂිකා ෂිරෝමි කුරුප්පු මහත්මිය (රත්නපුරය) එහිදී ලබා ගත් ඡන්ද ගණන හතකට සීමා විය.ජයතිලක මහත්මිය දැල්පන්දු සම්මේලනයේ ලේකම් ධූරයට පත්වූ තෙවැනි අවස්ථාව එයයි.

උප සභාපති ධූර දෙක සදහා ඡන්ද 19 ක් ලබා ගත් තෙන්නකෝන් කුමාරිහාමි (මහනුවර) හා ඡන්ද 13 ක් ලබා ගත් තමරා පරගොඩ ලියනගේ (ගාල්ල) යන මහත්මීන් තේරී පත්වූවාය.ඒ සදහා ඉදිරිපත් වූ කුමුදුණී ගෝමස් මහත්මියට (බස්නාහිර) ඡන්ද 11ක් හිමි වූ අතර යමුනා ගුණසේකර මහත්මිය එහිදී සිය නාමයෝජනාව ඉල්ලා අස් කර ගත්තාය.

තරග ලේකම් ධූරයට ටොරින්ටන් ක්‍රීඩා සමාජයේ කාංචනා විල්ආරච්චි මහත්මිය ඡන්ද 20 ක් ලබා තේරී පත් වූවාය.මෙවර නිලවරණයේදී අපේක්ෂිකාවක් ලබා ගත් වැඩිම ඡන්ද ගණනත් එයයි.එම ධූරයට තරග කළ ජේ.ඒ.එස්.මංගලිකා මහත්මියට (මාවතගම ක්‍රී.ස.) හිමි වූයේ ඡන්ද හතරකි.

උප ලේකම් ධූරයට ඡන්ද13 ක් හිමි කර ගත් බී.එල්.නිෂාන්ති ලියනගේ මහත්මිය (කුරුණෑගල) තේරී පත් වූයේ ටොරින්ටන් ක්‍රීඩා සමාජයේ සුභානී උඩවත්ත මහත්මිය පරාජය (ඡන්ද11) කරමිනි.ඒ අනුව ඊයේ නිලවරණයට තරග වැදුණු සභාපති අපේක්ෂිකා වජිරා නෙත්තිකුමාර මහත්මියගේ පාර්ශවය තරග වැදුණු සියලු තනතුරු සදහා තේරී පත්වීමට සමත් විය.

නව දැල්පන්දු විධායක සභාවේ භාණ්ඩාගාරික ධූරයට රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ බී.ඩී සුමිත්‍රා හා උප භාණ්ඩාගාරික ධූරයට ඩී.ආර්.සී.එස්.තෙන්නකෝන් (ජනසතු සේවා) යන මහත්මිහු නිතරගයෙන් තේරී පත් වූහ.

මේ අතර නිලවරණයට සභාගී වීමට පැමිණි ජනසතු සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනී දීප්ති අල්විස් මහත්මිය ඇතුළු එහි නියෝජිතවරියන්ට සභා ශාලාවට ඇතුළුවීමට නිලවරණ කමිටුවෙන් අවසර නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් විරෝධය පළ කර සිටියේය.

ඒ සදහා පැවැති බාධාවන් ඉවත් කර ගෙන තිබියදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පවා ඊට ලබා ගෙන තිබියදී නිලවරණ කමිටුවේ සභාපතිනිය සිය තනි මතයට කටයුතු කරමින් එම තීරණය ගෙන ඇතැයිද එහිදී ඇය චෝදනා කළාය.

විශ්‍රාමික මහාධ්කරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ප්‍රධාන සිව් පුද්ගල කමිටුවක් විසින් නිලවරණය මෙහෙයවනු ලැබීය.

නිලවරණය ජය ගැනීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ නව සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මිය ක්‍රිඩා අමාත්‍යාංශය සමග සාකාච්ඡා කර ඉදිරි නිල කාලය සදහා විධිමත් දැල්පන්දු ක්‍රීඩා සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාවට නංවන බව පැවැසුවාය.එහිදී එළඹෙන ආසියානු දැල්පන්දු තරග සංචාරයට ප්‍රමුඛතම අවධානය ලබා දෙන බවත් ඇය එහිදී පැවසුවාය.


අදහස් (0)

දැල්පන්දු මුල් පුටුව වැඩි ඡන්දයෙන් වජිරාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.