Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොකොවික් අවසන් මහ තරගයට

ජොකොවික් අවසන් මහ තරගයට

editorial - 2021 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිශය තියුණු තරගයකින් අනතරුව විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියා‍වේ නොවැක් ජොකොවික් සමත් විය. ඒ ඊයේ (9 වැනිදා) පැවැති පූර්ව තරගයකදී කැනඩාවේ ඩෙනිස් ෂාපොලොව්ට එරෙහිව වට 3-0 ක (7/6, 7/5, 7/5) ජයක් වාර්තා කරමිනි.

එහිදී ජොකෙවික්ට ඉතා තියුණු සටනක් දුන් 22 හැවිරිදි ෂාපොලොව් පළමු වටයේදී ඔහුව සම ලකුණු බිඳිමේ වටයක් කරාද රැගෙන ගියේය. කෙසේ වුවත් ලකුණු 7‍/6 ක් ලෙස පළමු වට‍යේ ජය ජොකොවික් සතුවූ අතර දෙවැනි සහ තෙවැනි වට ජයගැනීමට ඔහු සමත් වූයේද ෂාපොලොව්ට ප්‍රබල තරගයක් දීමෙන් අනතුරුව ලකුණු 7/5 ක් ලෙසිනි.

ඒ අනුව හෙට (12 වැනිදා) පැවැත්වෙන පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී ඉතාලියේ මෙටේයෝ බෙරටිනිට එරෙහිව ‍ජොකොවික් තරග බිමට පිවිසීමට නියමිතය. බෙරටිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයකදී පෝලන්තයේ හියුබට් හර්කාස්ට එරෙහිව වට 3-1 ක (6/3, 6/0, 6/7, 6/4) ජයක් වාර්තා කරමිනි.

‍පළමු වටයේදී  බ්‍රිතාන්‍යයේ ‍ජැක් ඩ්‍රැපර්ට එරෙහිවද, දෙවැනි වටයේදී දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන්ට එරෙහිවද, තෙවැනි වටයේදී ඇමරිකාවේ ඩෙනිස් කුඩ්ලාට එරෙහිවද ජය වාර්තා කළ ජොකො‍වික්, අවසන් 16 දෙනාගේ වටයේදී චිලී රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගැරන්ට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලබමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

අර්ධ අවසන් පූර්ව වටයේදී හංගේරියාවේ මර්ටන් ෆුසොවික්ස්ට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමින් ජෙ‍ාකොවික් අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩෙනිස් ෂාපොලොව් අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස කැරන් කචනොව් පරාජය කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමග ජොකොවික් සිය 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට තවත් පියවරක් ලංවූ අතර ඒ සඳහා ඔහුට ජයගත යුතුව ඇත්තේ තවත් එක් තරගයක් පමණි. මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකි වුවහොත් ජොකොවික්ට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ රෆායල් නඩාල් සමග සම වීමේ අවස්ථාවද හිමිවනු ඇත.
 
මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 19 ක් දිනා ගැනීමට ජොකොවික් සමත්ව සිටියි. ඊට මේ වසරේ (2021) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරතාව මෙන්ම ජූනි මාසයේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාවද ඇතුළත්වේ.

-036


අදහස් (0)

ජොකොවික් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.