Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික දැල්පන්දු කුසලාන හැටන් නැෂනල් බැංකුවට

ජාතික දැල්පන්දු කුසලාන හැටන් නැෂනල් බැංකුවට

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු කුසලාන (2021) හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී. ඊයේ (23) දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී තරගාවලිය නිමාවට පත් කරමින් පැවති අවසන් මහ තරගයේදී අති තියුණු සටනකින් පසුව ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 49 – 47 කින් පරාජය කිරීමට හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී විශේෂිත සිදුවීම වූයේ අවසන් මහ තරගයේ නියමිත මුළු කාලය දෙපිල ලකුණු 39  බැගින් සම ලකුණු ලැබීමෙන් ජයග්‍රාහි කණ්ඩායම නිර්දේශ කර ගැනීම සඳහා අතිරේක තරග කාලයක් ප්‍රදානය කිරීමට සිදුවීමයි. එහිදී අත්දැකීම් පරිපූර්ණ හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ ලකුණු 10 – 08 ක් ලෙස අතිරේක තරග වටය ජයගැනීමත් සමග මෙවර ජාතික තරගාවලියෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට ඔවුහු සමත් වූහ.

තරගයේ නියමිත කාලයේදී තරග වට හතරෙදී පළමු වටය 19 – 9 හා සිව්වැනි වටය 11 – 06 ක් ලෙසත් ගුවන් හමුදා කණ්ඩායම ජය ගත්තේය. එහෙත් දෙවැනි වටය ලකුණු 13 – 09 ක් ලෙසත් තෙවැනි වටය ලකුණු 11 – 09 ක් ලෙසත් ජය ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.  

ජාතික තරගාවලිය වැඩිම වාර ගණනක් මෙතෙක් දිනා ඇති හැටන්  නැෂනල් බැංකු කණ්ඩායම 1996 න් පසුව අවස්ථා දෙකක දී පමණක් අවසන් මහ තරගයේදී යුද හමුදා හා නාවික හමුදා යන කණ්ඩායම් වෙත පරාජය වී තිබේ.

ඒ අතර අවසන් වරට මෙම තරගාවලිය පැවති 2019 දී ජය ගෙන ඇත්තේ ද ඔවුන් විසින්මය. ඊයේ අවසන් මහ තරගය මෙතරම් උණුසුම්කාරි මුහුණුවරක් ගත්තේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් දෙපිලම නියෝජනය කිරීමයි. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් හිටපු නායිකාවක් වන වසර ගණනාවක්ම හැටන් නැෂනල් බැංකු පිළ නියෝජනය කළ ශෂිකා සමරසිංහ මහත්මිය ජයග්‍රාහි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ වත්මන් නිත්‍ය ප්‍රධාන පුහුණු කාරිණියයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි දැල්පන්දු රැජින ලෙස කිරුළ පැළදුවේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ මල්මි හෙට්ටිආරච්චිය. තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය යුද හමුදා කණ්ඩායම ජයගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට ලකුණු 68 – 44 කට පරාජය කරමිණි.

අවසන් පූර්ව වටයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් කුරුණෑගල කණ්ඩායම ද (45 – 17) ගුවන් හමුදා කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම ද (41-36) පරාජය කරන ලදී. තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නිය ලෙස දර්ෂිකා අබේවික්‍රම ද (හැටන් නැෂනල්), දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස ගයංජලී අමරවංශ ද (හැටන් නැෂනල්) හා දක්ෂතම ප්‍රහාරිකාව ලෙස චතුරංගි ජයසසූරියද (ගුවන් හමුදා) සම්මාන ලැබූහ.

ජයසංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි රංජිනි ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. තරගාවලියට කණ්ඩායම් 33 ක් සහභාගි වූහ.

අනුශූරතාලාභි ගුවන් හමුදා කණ්ඩායම් පුහුණුකාරිණිය ලෙස රූබා ජයලාල් මහත්මිය කටයුතු කළාය.

 

ජාතික දැල්පන්දු රැජිණ - මල්මි හෙට්ටිආරච්චි...


අදහස් (0)

ජාතික දැල්පන්දු කුසලාන හැටන් නැෂනල් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.