වසර නවයකට පසුව ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමේ අදිටනෙන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම බදාදා (29 වැනිදා) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් පසුබෑමකට ලක්ව තිබිය දී මෙවර ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිය පළමු තරගයට ලබන සැප්තැම්බර් 1 වැනිදා චීන-තායිපේට එරෙහිව සහභාගි වෙයි.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවේ ආසියානු කුසලාන දිනා ගැනීම හැරෙන්නට ශ්‍රී ලංකාවට මෙවර විකල්පයක් නොමැති බවයි. ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙවර ආසියානු ශූරතා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නිලධාරිනියන් දෙදෙනකුට පමණක් සීමා කර තිබෙන බවයි.
ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සළකන 36 හැවිරිදි තර්ජනී සිවලිංගම් මෙවර සහභාගිත්වයත් සමඟ සිය පස්වැනි ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකරගෙන තිබේ. ආසියාවේ පමණක් නොව ලෝකයේම උසම දැල්පන්දු ක්‍රීඩිකාවක් ලෙසත් සළකන සිවලිංගම්ගේ උස අඩි 6 අඟල් 11කි.
අවසන් වරට පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් ගණනාවක් මෙවරත් තරගාවලියට සහභාගිවන අතර අවසන් වරට ශ්‍රී ලංකාව කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ පුහුණුකාරිණි තිලකා ජිනදාස මෙනවිය මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කයුතු කරයි.
බණ්ඩාරගමට ගොස් පෙර පුහුණුවීම් කිරීමට සිදු වූ ජාතික දැල්පන්දු කණ්ඩායමට සුගතදාස ගෘහස්ථ පිටිය වෙන්කර දීමට ඊට පෙර දැල්පන්දු සම්මේලනය ගත් උත්සාහයන් සාර්ථක නොවූ බව ද වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේ සිට ජාතික දැල්පන්දු පුහුණු සංචිතය පවත්වා ගෙන යන අතර ඔවුන්ට සිව් දින විශේෂ නේවාසික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමටද දැල්පන්දු සම්මේලනය පියවර ගත්තේය.
එය මෙහෙය වූයේ කලක් ලෝක ශූරතාලාභි ඕස්ටේ්‍රලියානු දැල්පන්දු කණ්ඩායමේ පුහුණාකාරිනිය ලෙසත් කටයුතු කළ ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ පුහුණු කමිටුවේ වත්මන් ප්‍රධානි ජිල් මැකින්ටොස් මහත්මිය විසිනි.
ආසියානු ශූරතා තරග සංචාරය ගැන වැඩි දුරටත් ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය මෙසේද පැවැසුවාය.
වසර 2001 දී මා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය වෙලා ඉන්න අවස්ථාවේ දී මෙන්ම වසර 2009දී අතුරු කමිටුව ක්‍රියාත්මක වන අවස්ථාවේ දී එහි ලේකම්වරිය හැටියටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශිකාව හා කළමනාකාරිණිය ලෙසත් කටයුතු කරමින් එම අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනා ගන්න සමත් වුණා...ඒ වගේ මා දැල්පන්දු සම්මේලනයේ නැවත මූලිකත්වය අරන් ඉන්න මේ වෙලාවෙත් අපට විශ්වාසයක් තිබෙනවා යළිත් අපට ආසියානු කුසලාන දිනා ගත හැකි වේවි යයි කියා”
මෙවර ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය අලුත්ම තරග සැළැස්මකට අනුව පැවැත්වේ. එහිදී තරග වදින රටවල් 12ක් කාණ්ඩ හතරකින් මූලික වටයට සහභාගි වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වන්නේ ලබන සැප්තැම්බර් 7 වැනිදා ඉන්දියාවට එරෙහිවය. අනතුරුව නැවතත් කාණ්ඩ හතරේ ශූරියන් අතර ලිග් තරග වටයක් පැවැත්වීමට කටයුතු කිරීමෙන් පසුව පිළිමලුන් පිටුදැකීමේ තරගවටය ඇරැඹේ.
අවසන් පූර්ව තරග ලබන සැප්තැම්බර් 8 වැනිදාත් අවසන් මහ තරගය සැප්තැම්බර් 9 වැනිදාත් පැවැත්වේ. මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදිනියක් බවට පත්ව සිටින්නේ ශූරතාලාභි සිංගප්පූරුව හැරෙන්නට මලයාසියාවයි.
තායිලන්තය, මාලදිවයින, ජපානය, චීනය, බෲනායි, පාකිස්තානය, හොංකොං හා පිලිපීනය මෙවර තරගාවලියට සහභාගි වන සෙසු රටවල් වෙති.
තරගාවලියට සමගාමීව මෙම 31, සැප්තැම්බර් 3 හා 7 යන දිනවල සිංගප්පූරුවේ දී පැවැත්වෙන ආසියානු දැල්පන්දු සම්මේලනයේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය සහභාගි වන්නීය.
.jpg)
ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම
චතුරංගි ජයසූරිය (නායිකා), දර්ශිකා අබේවික්‍රම (උප නායිකා), තර්ජනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, එලියන්තනි යෙකුටලර්, දුලංගා ධනංජනී, හසංජලි අමරවංශ, නනුජලී රාජපක්ෂ, තිළිණි වත්තේගෙදර, දුලංගි වන්නිතිලක, ගයනි දිසානායක, සුරේකා කුමාරි
අතිරේක:- තිසුරි විජේසුන්දර, රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක
නිලධාරින්:- පුහුණුකාරිනි තිලකා ජිනදාස,
කළමනාකාරිණි:- තනුජා දිසානායක, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නියෝජිත:- ට්‍රික්ෂි නානායක්කාර යන මහත්මීහු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.