දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-2 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.
තරගයේ 2 වැනි විනාඩියේදීම පාකිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ හම්සා නුස්රත් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එතැන් පටන් විනාඩි 5 ක් ගතවන විට එනම් 7 වැනි විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත් අලී ආඝා පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 2-0 ක් ලෙස පාකිස්තානයට වැඩි වාසි ගෙන ආවේය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව තරගයේ 30 වැනි විනාඩියේදී පාකිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ සෆාර් ඛාන් සිය කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස ඉහළට ඔසවා තැබුවේය. ඉන් අනතුරුව 34 වැනි විනාඩියේදී අසීෆ් අහමඩ් ලබාගත් ගෝලයත් සමග තරගය ගෝල 4-0 ක් බවට පත් විය. ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වූයේ එම විනාඩියේදීම මොහොමඩ් ෆයිසාල් ලබාගත් ගෝලයත් සමගිනි.
ඒ අනුව අවසන් තරගයේ විනාඩි 5 ආරම්භ වන විට ගෝල 4-1 ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටි අතර 39 වැනි විනාඩියේදී පාකිස්තානය වෙනුවෙන් දෙවැනි ගෝලයද ලබාගත් අලී ආඝා සිය කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දැමුවේය. තරගයේ අවසන් විනාඩියේදී (40 වැනි) ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට මොහොමඩ් ආමීර් සමත් වුවද, තරගයේ ප්‍රතිඵලයට ඉන් කිසිදු බලපෑමක් සිදුනොවීය.
ඉකුත් බදාදා (14 වැනිදා) භූතානයට එරෙහිව පැවැති තරගය ගෝල 3-3 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව, සිකුරාදා (16 වැනිදා) පැවැති තරගයේදී නේපාලය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන සෙසු තරග 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, 24 වැනිදා ඉන්දියාවට එරෙහිවත්, 26 වැනිදා මාලදිවයිනට එරෙහිවත් පැවැත්වෙනු ඇත.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.