Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සිය මංගල ටෙස්ට් තරගයේදීම සාර්ථක පන්දු යැවීමක යෙදුණු සොනාල් දිනූෂ ලකුණු 17 ක් ඇතුළත බංග්ලාදේශයේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. ලිටන් දාස් (34) සහ මුෂ්ෆිකුර් රහීම් (35) දෙදෙනා පිටියේ සිටියදී කඩුලු 4 කට 143 ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව සොනාල් දිනූෂගේ පන්දු යැවීමත් සමගින් කඩුලු 6 ට 160 ක් ලෙසින් දිස්විය.
එතැනින් පසු පාදයට වැටුණු බංග්ලාදේශය පාලනය කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹ එස්.එස්.සී, පිටියේදී අද (25 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට ප්‍රතිවාදීන්ගේ කඩුලු 8 ක් ලකුණු 220 ක් ඇතුළත දවාගත්හ.
සිය ටෙස්ට් දිවිය සඳහා ආකර්ශනීය ආරම්භයක් ලබාගත් සොනාල් දිනූෂ දිනයේ පන්දු යැවීම අවසන් කළේ 9-3-22-2 ක් ලෙසිනි. සොනාල්ගේ පන්දු යැවීම තුළ වඩාත් සිත්ගත් කරුණු වූයේ ඔහු දවාගත් කඩුලු දෙක නොව, ඔහු පන්දු යැවූ සීමාව, පන්දුව පතිත කළ රේඛාව සහ පන්දුව පාලනය කළ ආකාරයයි. විශේෂයෙන්ම ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් වැනි පරිණත ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු හමුවේ සොනාල් දිනූෂ පන්දු යැවූ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය විය.
එකම අර්ධ ශතකයක් හෝ ඇතුළත් නොවූ බංග්ලාදේශ ඉනිමේ හොඳම සම්බන්ධතාව ගොඩනැඟුණේත් ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් දෙදෙනා අතරය. මුෂ්ෆිකුර් රහීම් ලකුණු 08 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් ඩීප් මිඩ් විකට් හි සිටි ළහිරු උදාර අතින් ගිළිහී ගිය අතර මෙම ටෙස්ට් තරගාවලියේ පිට පිටම ඉනිම තුනකදී ළහිරු උදාර වෙතින් ගිළිහුණු තුන්වැනි උඩපන්දුව එය විය. ලිටන් දාස් ද ලකුණු 33 දී දුන් උඩපන්දුව පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය වෙතින් ගිළිහී ගියත් ඊළඟ ඕවරයේදී ලිටන් දාස් දවාගත් කෝඩුකාරයා, සිය මංගල ටෙස්ට් කඩුල්ල මෙන්ම 100 වැනි පළමු පෙළ කඩුල්ලත් දවාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කිරීමට පෙර කඩුලු 2 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියේය. දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් පස්වරු 1.20 සිට 2.55 දක්වා පැය එක හමාරකට වැඩි කාලයක් අපතේ ගියේය.
ඉනිම ආරම්භයේදීම අසිත ප්‍රනාන්දු යැවූ විශිෂ්ට පන්දුවක් අනමුල් හක්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ලට කඩාවදින විට පුවරුවේ තිබුණේ ලකුණු 05 ක් පමණි. එහෙත් මොමිනුල් හක් සහ ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරගෙන ගියහ. තණතීරුව බෙහෙවින් මන්දගාමී ස්වරූපයක් පෙන්වන අතර බංග්ලාදේශීහු පරෙස්සමෙන් තම කඩුලු ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යද්ද පන්දුව අතට ගත් ධනංජය ද සිල්වාගේ පළමු පන්දුවෙන්ම මොමිනුල් හක් දැවී ගියේය. එහෙත් එතැන් සිට තරගය අතට ගත් ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් දෙදෙනා බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ.
දෙදෙනා අතර පැවැති ලකුණු 67 ක සම්බන්ධතාව බිඳී ගියේ කුසල් මෙන්ඩිස් විසින් මහත් උත්සාහයෙන් රැකගන්නා ලද උඩපන්දුවකිනි.
අද දිනයේ පැවැති වර්ෂාව හේතුවෙන් හෙට උදෑසන 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.