Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බට්ලර් - හේල්ස් එංගලන්තය අවසන් තරගයට ගෙන යති
ඉන්දියා - එංගලන්ත 2වැනි අවසන් පූර්ව තරගය

බට්ලර් - හේල්ස් එංගලන්තය අවසන් තරගයට ගෙන යති

දමින්ද විජේසූරිය - 2022 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇස් අදහාගත නොහැකි ප්‍රහාරයකින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ජොස් බට්ලර් (නොදැවී 80) සහ ඇලෙක්ස් හේල්ස් (නොදැවී 86) දෙදෙනා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඕස්ටේ්‍රලියාවේ අඩිලේඞ් නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියානුවන් ලබාගත් ලකුණු 168, ඕවර 16 කදී පසුකර ගිය එංගලන්ත ආරම්භක පිතිකරුවෝ දෙදෙනා කඩුලු 10 ක ජයක් තම කණ්ඩායමට ගෙන ආහ. 

අන්තර්ජාතික සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම ශූරතා දෙක වන එක්දින සහ විස්සයි-20 කුසලාන දෙකම හිමිකරගැනීම සඳහා ජොස් බට්ලර්ගේ එංගලන්ත කණ්ඩායම තවත් ජයග්‍රහණයකට මෙපිටින් සිටී.  
වසර තුනකට ඉහත එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය පරාජය කරමින් ලෝක ශූරතාව දිනාගත් එංගලන්ත කණ්ඩායමට විස්සයි-20 ලෝක කුසලානයට අත තැබීමට අවශ්‍යව ඇත්තේ තවත් එක ජයග්‍රහණයක් පමණි. 

ඒ සඳහා ලබන ඉරිදා (13 වැනිදා) මෙල්බර්න් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කිරීමට එංගලන්තයට සිදුවනු ඇත. 

ලකුණු 169 ක ඉලක්කයක් කරා යාමේදී ඉන්දීය පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනා ප්‍රහාරක ඕවර 6 නිමාවේදී ලකුණු 63 ක් පුවරුවට එක්කළහ. බුවනේෂ්වර් කුමාර් යැවූ මුල්ම ඕවරයේදී හතරේ පහර 3 කින් ඉන්දීය වේග පන්දු යවන්නා තැතිගැන්මට ලක්කළ බට්ලර්ට නොදෙවැනි පිතිහරඹයක්, තුන්වැනි ඕවරයේ සිටි ඇලෙක්ස් හේල්ස් ආරම්භ කළේය. 

එතැන් සිට තිබුණේ පන්දු සංහාරයකි. ලකුණු සැණකෙළියකි. පන්දු යවන්නන්ගේ මළගමකි. 

පන්දු 49 කින් එංගලන්ත නායකයා ලබාගත් ලකුණු 80 හතරේ පහර 9 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. ඇලෙක්ස් හේල්ස්ගේ පන්දු 47 ලකුණු 86 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. හේල්ස් පන්දුව නරඹන්නන් අතරට යැවූයේ හතරේ සීමාව තම දෙපා මුලට ගෙන්වාගත් ලෙසිනි. 
අවසන් ඕවර 5 දී ඉවක් බවක් නැතිව එංගලන්ත පන්දු යවන්නන්ට පහර දුන් හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 6 කට ලකුණු 168 ක් දක්වා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියේය. පාණ්ඩ්‍යා පන්දු 33 කින් ලබාගත් ලකුණු 63 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය. 

ඉනිමේ අවසන් පන්දුවටත් පාණ්ඩ්‍යා අලංකාර හතරේ පහරක් ගැසූ නමුත් එම පහර කරා යාමේදී පාණ්ඩ්‍යාගේ පාදය කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහුටත් ඉන්දීය කණ්ඩායමටත් ලකුණු 4 අහිමි විය. 
ඉන්දීය කණ්ඩායම ඕවර 15 ක් නිමාවේදී ලබා සිටියේ කඩුලු 3 කට ලකුණු 100 ක් පමණි. ඒ වන විට පන්දු 35 කින් ලකුණු 43 ක් ලබා සිටි විරාට් කෝලි සමගින් එක්ව අවසන් ඕවර 5 දී ඇදහිය නොහැකි ප්‍රහාරයක් ආරම්භ කළ පාණ්ඩ්‍යා තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියේය. 

මෙම තරගාවලියේ තමාගේ හතරවැනි අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි සහ පාණ්ඩ්‍යා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 61 ක් වුවද ඒ වෙනුවෙන් වැයවූයේ පන්දු 28 ක් පමණි. ආරම්භයේ සිටම මහත් පාලනයකින් යුතුව පන්දු යැවූ ක්‍රිස් ජොර්ඞ්න් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුගේ අවසන් ඕවර දෙකේදී පාණ්ඩ්‍යා ලකුණු 28 ක් උදුරා ගත්තේය. 

මාක් වුඞ් සහ ඬේවිඞ් මැලන් දෙදෙනාටම ආබාධ හේතුවෙන් මෙම තරගය අහිමි විය. ඒ හේතුවෙන් පන්දු යැවීම ආරම්භ කළ බෙන් ස්ටෝක්ස්ගෙන් ඉන්දීය පිතිකරුවෝ පහසුවෙන් ලකුණු ලබාගත්හ. එහෙත් මේ වනවිට විස්සයි-20 පිටියේ හොඳම පිතිකරුවා වන සූර්යකුමාර් යාදව් ලකුණු 14 කට දැවියාම ඉන්දියානුවන් අපේක්‍ෂා නොකළ විපතක් විය. 

විරාට් කෝලි සිය 4000 වැනි වි-20 අන්තර්ජාතික ලකුණ ලබාගන්නා විටත් ඉන්දියාව යන්තමින් ලකුණු 100 පසුකළා පමණි. පන්දු 39 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ ඉන්දීය පිලේ හිටපු නායකයා, මෙවර ලෝක කුසලන තරගාවලියේදී මෙතෙක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 296 කි. එහෙත් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව යැවුණු පන්දුවේදී අදිල් රෂීඞ් විසින් රැකගන්නා ලද උඩපන්දුවක් හේතුවෙන් කෝලි දැවී ගියේය. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ට 168 යි
(රෝහිත් ෂර්මා 27, විරාට් කෝලි 50, සූර්යකුමාර් යාදව් 14, හාර්දික් පාණ්ඩ්‍යා 63, ක්‍රිස් ජෝර්ඞ්න් 43/3)
එංගලන්තය - ඕවර 16 කදී කිසිවකු නොදැවී 170 යි
(ජොස් බට්ලර් නොදැවී 80, ඇලෙක්ස් හේල්ස් නොදැවී 86) 

 


අදහස් (0)

බට්ලර් - හේල්ස් එංගලන්තය අවසන් තරගයට ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.