Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්
ඉන්දියා - බංග්ලාදේශ තරගය

බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්

editorial - 2022 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම, ඕවර 6 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේය. කෙසේ වුවත් වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා යළි ආරම්භ කිරීමත් සමග ජයග්‍රාහී ඉලක්කය ඕවර 16 කදී ලකුණු 151 ක් බවට පත්විය.

තරගය නතර කිරීමට පෙර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 59 ක් ලබා සිටි ලිටන් දාස්ට තරගය යළි ආරම්භ වීමෙන් පසුව ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. ලෝකේෂ් රාහුල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දාස් ලකුණු 60 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවිය.

අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් නුරුල් හසන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. තරගය සම කිරීම සඳහා අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කිරීමට සිදුවුවද, එහිදී හසන්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.

නායක රෝහිත් ෂර්මා ලකුණු 2 කට දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විරාට් කෝලි (නොදැවී 64) සහ ලෝකේෂ් රාහුල් (50) දෙදෙනා, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල ලකුණු 184 ක් කරා කැඳවාගෙන ගියහ.
 
ටස්කින් අහමඩ් යැවූ ඉන්දීය ඉනිමේ තුන්වැනි ඕවරයේදීම රෝහිත් ෂර්මා ගැසූ පහරකින්, ඩීප් ස්ක්වෙයාර් ලෙග් සිටි ක්‍රීඩකයාට පහසු උඩපන්දුවක් ලැබුණු නමුත් එය ගිළිහී ගියේය. එයින් ප්‍රයෝජන ගැනීමට රෝහිත් ෂර්මා අසමත් වූ නමුත් ලෝකේෂ් රාහුල්ට එක්වූ විරාට් කෝලි බංග්ලාදේශ පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්හ.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ද සහිතව, පන්දු 32 කින් ලකුණු 50 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 78 ක් වී තිබිණ. ඒ වන විට ඉන්දීය පිතිකරුවන් අවශ්‍ය රිද්මයට පැමිණ සිටි බැවින් ලකුණු 180 න් එපිට ඉලක්කයක් කරා යාම ඔවුනට පහසු විය.

විරාට් කෝලි පන්දු 37 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඊට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. එහෙත් එතැනින් තම ඉනිම ඉහළ ගියරයට දමාගත් කෝලි, සිය අවසන් ලකුණු 14 ලබාගත්තේ පන්දු 07 කිනි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීම අසීරු විය. ටස්කින් අහමඩ් පමණක් තම ඕවර 4 ලකුණු 15 කට සීමාකරගත් නමුත් සෙසු බංග්ලාදේශ පන්දු යවන්නන්ට ඉන්දියානුවෝ එළව එළවා පහර දුන්හ.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 184
(ලෝකේෂ් රාහුල් 50, විරාට් කෝලි නොදැවී 64, සූර්යකුමාර් යාදව් 30, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 13, හසන් මහමුද් 47/3, සකිබ් අල් හසන් 33/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 145
(නජ්මුල් හොසේන් 21, ලිටන් දාස් 60, නුරුල් හසන් නොදැවී 25, හර්දීක් පාණ්ඩ්‍යා 28/2, අර්ෂ්දීප් සිං 38/2)

 


අදහස් (0)

බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.