Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සිඳිති
ඕස්ට්‍රේලියා - ඇෆ්ඝනිස්ථාන තරගය

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සිඳිති

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැති මොහොතක, පිතිකරුවකු මෙන්ම විශිෂ්ට පන්දු රකින්නකු වශයෙනුත් පෙරට පැමිණි ග්ලෙන් මැක්ස්වෙල්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් පිටියේදී අද (04 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 04 ක ජයක් කරා යාමට ඕස්ට්‍රේලියානුවන්ට මඟ පාදා දුන්නේය. ලකුණු 169 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් විසින් ලකුණු 164 දී නතර කරගන්නා ලද්දේ, අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සිඳ බිඳ දමමිනි.

ආක්‍රමණශීලී අර්ධ ශතකයක් සමගින් ඕස්ටේ්‍රලියානු පිල ලකුණු 168 ක් දක්වා කැඳවාගෙන ගිය මැක්ස්වෙල්, පිටියේ ඈත කෙළවරක පන්දු රකිමින්, පන්දු 4 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.

ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ගුලාබ්දීන් නයිබ් (39) සහ ඊබ්‍රහිම් සද්රාන් (26) දෙදෙනා, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.

මෙම අවසථාවේදී ලෝන්ග් ඕන් හි සිටි මැක්ස්වෙල්, පන්දුව අහුලාගෙන පන්දු යවන්නාගේ කඩුල්ලට දමා ගැසුවෙන් ලකුණක් කරා දිව යමින් සිටි ගුලාබ්දීන් නයිබ් දුවද්දී දැවී ගියේය. ඊළඟ පන්දුවේදී සද්රාන් දැවී ගිය අතර පන්දු 8 ක් ඇතුළතදී පිතිකරුවන් 4 දෙනෙකු දැවී ගියද ලකුණු පුවරුව වෙනස් වූයේ ලකුණු 04 කින් පමණි.

ඇෆ්ඝනිස්ථානයේ බලාපොරොත්තු එතැනින් කඩා වැටුණද, හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 45 ක් එකතු කළ රෂීඩ් ඛාන් (නොදැවී 48) සහ දර්විශ් රසූලි (15) තම කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආහ.

ඇෆ්ඝනිස්ථානු ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවර දෙකේදී, (පන්දු 12 කින්) ලකුණු 33 ක් අවශ්‍ය වූ නමුත් ලකුණු 28 ක් පමණක් ලබාගැනීමෙන් ආසියාතිකයන්ගේ උත්සාහය අවසන් විය.

මිචෙල් මාෂ් (45) සහ ග්ලෙන් මැක්ස්වෙල් (නොදැවී 54) දෙදෙනාගේ ප්‍රහාරය නිසා නියමිත ඕවර 20 නිමාවන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්හ. ඉනිම ආරම්භයේදීම ඕස්ට්‍රේලියානුවන් ප්‍රහාරය ආරම්භ කළ නමුත් තුන්වැනි ඕවරයේදී කැමරන් ග්‍රීන් දැවීයාම සත්කාරකයන් අපේක්‍ෂා කළ යමක් නොවීය.

අංක 3 පිතිකරුවා වූ මිචෙල් මාෂ් දිගින් දිගටම ආක්‍රමණය පවත්වාගෙන ගියද ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මැතිව් වේඩ් වැනි පළපුරුදු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීමට ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නෝ සමත් වූහ.

මිචෙල් මාෂ් දැවී යන විට කඩුලු 4 ට ලකුණු 84 ක් වූ ලකුණු සංඛ්‍යාව 139 ක් දක්වා ගෙන යාමට මාකස් ස්ටොයිනිස් සහ මැක්ස්වෙල් පියවර ගත්හ. කෙසේ වෙතත් මැක්ස්වෙල්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියානුවන් ගොඩ ඒමේ තීරණාත්මක සාධකය විය. පන්දු 32 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

ඕස්ට්‍රේලියානුවන්ට බලවත්ම පාඩුව වූයේ නායක ඒරන් ෆින්ච්, මිචෙල් ස්ටාක් සහ තරුණ ක්‍රීඩක ටිම් ඩේවිඩ් තිදෙනාම මෙම තරගයට ක්‍රීඩා නොකිරීමයි. ඔව්හු තිදෙනාම තුවාල ලබා සිටිති.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 168 යි
(ඩේවිඩ් වෝනර් 25, මිචෙල් මාෂ් 45, මාකස් ස්ටොයිනිස් 25, ගලෙන් මැක්ස්වෙල් නොදැවී 54 ෆසල්හක් ෆාරුක් 29/2, නවීන් උල් හක් 21/3)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 164 යි
(රමනුල්ලා ගුර්බාස් 30, ඊබ්‍රහිම් සද්රාන් 26, ගුලාබ්දීන් නයිබ් 39, රෂීඩ් ඛාන් නොදැවී 48,
දර්විශ් රසූලි 15, ජොෂ් හේසල්වුඩ් 33/2, ඇඩම් සම්පා 22/2)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සිඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.