Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මුජීබ්ගේ කඩුලු ත්‍රිත්වය ඇෆ්ඝනිස්ථානය දිනවයි

මුජීබ්ගේ කඩුලු ත්‍රිත්වය ඇෆ්ඝනිස්ථානය දිනවයි

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෆ්ඝනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 39 ක ජයක් ලැබූ අෆ්ඝනිස්ථානය, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. එහිදී කඩුලු ත්‍රිත්වයක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මුජිබුර් රහමන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට මුජිබුර් රහමන් ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබුර් ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අස්මතුල්ලා ඔමර්සායි සහ ෆසාල්හක් ෆරූකි කඩුලු 2 බැගින් දවාගත්හ. 

කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 17 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 46 රැස්කළ අතර නායක බ්‍රෙන්ඩන් කිං හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 41 කින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය. කොදෙව් ඉනිමේ 7 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී එවින් ලුවිස් සහ ජොන්සන් චාල්ස් දවාගත් මුජිබුර්, සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ 15 වැනි ඕවරයේ පළමු පන්දුවේදී බ්‍රෙන්ඩන් කිං දවාගනිමිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 189 ක් ලබාගත් අතර එහිදී පිට පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් දර්විෂ් රසූලි පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. ලකුණු 37 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී සෙදිකුල්ලා අතාල් (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 115 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද රසූලි සමත් විය. 


ඇෆ්ඝනිස්ථාන පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 189 
(ඊබ්‍රහීම් සද්‍රාන් 22, සෙදිකුල්ලා අතාල් 53, දර්විෂ් රසූලි 68, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 26, මැතිව් ෆෝඩ් 25/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 150 
(බ්‍රෙන්ඩන් කිං 50, ශිමර්න් හැට්මෙයර් 46, මුජිබුර් රහමන් 21/4, අස්මතුල්ලා ඔමර්සායි 20/2, ෆසාල්හක් ෆරූකි 29/2) 

-036


අදහස් (0)

මුජීබ්ගේ කඩුලු ත්‍රිත්වය ඇෆ්ඝනිස්ථානය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.