Last Update  :  2025-12-09 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ පිලට

දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ පිලට

editorial - 2025 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී අද (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ හිරුණ් මතීෂ පන්දු 136 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 80 රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 31 ක්ව තිබියදී නායක රෙහාන් පීරස් (18) දැවී යෑමත් සමග අරෝෂ සිතුමිණ (50) සමග එක්වූ මතීෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. පන්දු 63 කදී වාර්තා වූ අරෝෂගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම ඕවර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 194 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජරීෆ් සියාම් පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කිරීමට සමත් විය. 

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ හිමරු දේෂාන් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, මිනුග නෙත්සර ලකුණු 38 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූ අතර බංග්ලාදේශ වයස 17 න් පහළ ඉනිම සිනුවිසුණු කර දැමීම සඳහා ඔවුන් දෙදෙනාට අගනි සහායක් දුන් මනිත රාජපක්ෂ ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය. 


බංග්ලාදේශ 17 න් පහළ පිල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 194 
(ජරීෆ් සියාම් 52, මොහොමඩ් නයීම් 15, අද්රිටෝ 19, ආකාෂ් රෝයි 25, රකිබුල් හොසේන් 17, ජුනේඩ් හොසේන් 20, ෆයියාස් රහමන් 15, හිමරු දේෂාන් 33/3, මිනුග නෙත්සර 38/3, මනිත රාජපක්ෂ 24/2) 

ශ්‍රී ලංකා 17 න් පහළ පිල - ඕවර 45.5 කදී කඩුලු 4 ක් දැවී 195  
(රෙහාන් පීරිස් 18, අරෝෂ සිතුමිණ 50, හිරුණ් මතීෂ නොදැවී 80, ජේසන් ප්‍රනාන්දු 24, සනුල් වීරරත්න නොදැවී 15, රකිබුල් හොසේන් 17/2, ජරීෆ් සියාම් 35/2) 

-036


අදහස් (0)

දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.