Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner වෘත්තීය කී‍්‍රඩකයන් නැතිවීම විශාල අඩුවක්

වෘත්තීය කී‍්‍රඩකයන් නැතිවීම විශාල අඩුවක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියේදී තරග 3-2 ක් ලෙස ලෙබනනය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා සමත් විය.

වසර ගණනාවක් ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරග කරන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ආසියා ශාන්තිකර කළාපීය I කාණ්ඩයට පිවිසීම සඳහා පවතින විශාලතම බාධකය වන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෘත්තීය කී‍්‍රඩකයන් නොමැති වීම බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපාය විශේෂඥ නායකයා ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා පවසයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයාද වන රොහාන් ද සිල්වා තරග වලට සහභාගි නොවන හෙයින් ඔහු උපාය විශේෂඥ නායකයා ලෙස හැඳින්වේ. රොහාන් ද සිල්වා සමග එම තරගාවලිය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් පහත දැක්වේ.


●  ශ්‍රී ලංකාව ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වෙන්නේ කොයි කාලේ ඉඳලාද?
අපි 1954 ඉදලා මේ වෙනකන් හැම අවුරුද්දෙම ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගී වෙලා තියෙනවා. ඒත් මෑත කාලය ගැන බලනකොට 2011 වසරේදි තමා අපිට මේ තරගාවලියේ II  කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට පුළුවන් වුණේ.


●  ඔබ ඬේවිස් කුසලාන තරගාවලි වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ මොන කාලෙද?
මම 1990 ඉදලා 2005 අතර කාලයේදී ඬේවිස් කුසලාන තරගාවලි වලට සහභාගි වෙලා තියෙනවා.


●  ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම වසර කීයක් මේ තරගාවලියට සහභාගි වුණාද?
මගේ නායකත්වය යටතේ 5 වැනි වතාවට තමා මේ අවුරුද්දෙත් අපි තරගාවලියක් ජයග‍්‍රහණය කරලා, දිගටම II කාණ්ඩයේ රැදී සිටින්න අවස්ථාව උදාකර ගත්තේ. හැබැයි සෑහෙන කාලෙකට පස්සේ මේ පාර තමයි ලංකාවෙදි තරගාවලියක් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වුණේ.


●  ඔබ කී‍්‍රඩා කරපු කාලේ ශී‍්‍ර ලංකා කණ්ඩායම හිටියේ මේ තරගාවලියේ මොන කාණ්ඩයේද?
මම ක‍්‍රීඩා කරපු කාලෙත් අපි හිටයේ II කාණ්ඩයේම තමා. ඒත් දැන් වගේ ඒ කාලේ III කාණ්ඩයක්, IV කාණ්ඩයක් තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ I වැනි කාණ්ඩයයි, II වැනි කාණ්ඩයයි විතරයි.


●  2011 වසරේදී II කාණ්ඩයට ආපු ලංකාව, 2015 වන තෙක්ම එකම තැන පල් වීමට හේතුව මොකක් කියලාද හිතන්නේ?
ඒක තීරණය වෙන්නේ අපේ රටේ ඉන්න කී‍්‍රඩකයන්ගෙ තත්ත්වය මතයි. අනික අනිත් කී‍්‍රඩා වලට වගේ අපිට ගොඩක් සල්ලිත් නෑ. තියෙන ටිකෙන් තමා අපි මේ ඔක්කොම කරන්නේ.

අත්තටම අපි ඬේවිස් කුසලාන තරගාවලියට පුහුණුවීම් කරන්න පටන්ගන්නේ මාස දෙකකට විතර කලින් ඉදලා. ලබන අවුරුද්දේ තියෙන තරගාවලියට මේ වසරේ ඉදලාම කරනවා නම් අපිට මීට වඩා ඉහළට යන්න තිබුණා කියලා මා හිතනවා.


●  ඇයි ඉතින් අපිට එහෙම එක දිගට පුහුණුවීම් කරන්න බැරි?
මේකයි දැන් හර්ෂණ ගොඩමාන්න ගත්තොත් එයා ඇමරිකාවේ පදිංචිවෙලා රැකියාවක් කරනවා. ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගී වෙන්නම තමා එයා ලංකාවට එන්නේ. එතකොට ශාමාල් දිසානායක ගත්තොත් එයා මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පාඩම් කරනවා. ඒ වගේ හේතු නිසා තමා ඉතින් එක දිගට මාස 2 කට වඩා පුහුණුවීම් කරන්න ලැබෙන්නේ නැත්තේ.


●  මේ අවුරුද්දේ තරගාවලිය ගැන කතා කළොත් ලෙබනනය පරාද කරන්න ලැබීම ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
ඉස්සර වගේ නෙමෙයි දැන් හුගක් රටවල් ටෙනිස් සෙල්ලම් කරනවා. ලංකාවේ වගේ නෙමේ ගොඩක් රටවල් වල ඉන්නේ වෘත්තීමය ටෙනිස් කී‍්‍රඩකයන්.

ලෙබනනය වුණත් එහෙමයි. එගෝල්ලෝ තරගාවලි හොයාගෙන රටින් රටට ගිහිල්ලා සෙල්ලම් කරලා අත්දැකීම් ලබාගන්නවා. ලෝක කනිෂ්ට ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 91 වැනියාත් ලෙබනන් කණ්ඩායමේ හිටියා. ඒ නිසා මේක අපි ලබපු විශිෂ්ට ජයග‍්‍රහණයක්.


මේ තරගාවලියේ පළමු කේවල තරග දෙක අපි ඉතාම පහසුවෙන් ජයග‍්‍රහණය කළත් යුගළ තරගයේදී අපි පරාජයට පත්වුණා ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
යුගළ තරගයටත් කී‍්‍රඩා කරන්න හිටියේ කේවල තරග දෙකට කී‍්‍රඩා කරපු හර්ෂණ ගොඩමාන්නයි, ශාමාල් දිසානායකයිම තමා. ඒත් දවස් තුනක් එක දිගට කී‍්‍රඩා කරන්න තියෙන නිසාත්, පළමු තරග දෙකම ජයග‍්‍රහණය කරලා තිබුණ නිසාත් අපි බැලූවා ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට විවේකයක් දීලා, දිනේෂ්ට (දිනේෂ්කාන්තන් තංගරාජාට) අවස්ථාවක් දෙන්න. ඒ නිසා අපි යුගළ තරගයේදී ශාමාල්ව එළියෙන් තියලා දිනේෂ්ට අවස්ථාව ලබා දුන්නා.


●  එතකොට හර්ෂණ ගොඩමාන්නටත් දවස් තුනේම තරග වැටිලා තිබුණා. ඔහුට විවේකයක් ලබාදෙන්න හිතුනේ නැද්ද?
හර්ෂණ තමා අපිට ඉන්න හොඳම කී‍්‍රඩකයා. ශාමල්ට වඩා එයාට අත්දැකීම් වැඩියි. ඒ නිසා එයා තරග දවස් තුනේම කී‍්‍රඩා කරන්න  ඕන කියන මතයේ අපි හිටියා.

 
ශාමල්ව එළියෙන් තියෙලා දිනේෂ්ව ඇතුළට දාලා හදිසියේ කරපු වෙනස්කම නිසා යුගළ තරගය පරාද වුණා කියලා හිතෙන්නේ නැද්ද?
මේකයි අපි යුගළ තරගය පරාද වෙන්න බලාපොරොත්තුවෙන් කී‍්‍රඩා කළේ නෑ. හර්ෂණයි, දිනේෂුයි එක්ක කී‍්‍රඩා කරලා තරගය දිනාගන්න පුළුවන් වෙයි කියලයි අපි හිතුවේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. ගන්න හැම තීරණයක්ම හරියන්නේත් නෑනේ.  


එතකොට සංඛ අතුකෝරලත් කණ්ඩායමේ ඉද්දී ඇයි දිනේෂ්වම මේ තරගයට යොදා ගත්තේ?
සංඛ අතුකෝරල කණ්ඩායමේ ඉන්නේත් යුගල තරග සඳහාම තමා. එත් ලඟකදි නිමාවුණ එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියයි, කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියයි දෙකම දිනලා හිටපු හින්දා අපි දිනේෂ්ට අවස්ථාව දෙන්න තීරණය කළා.


අවසන් දිනයේ තිබුණ පළමු යුගළ තරගයත් අපි පරාජය වුණා. එක කේවල තරගයක් දිනලා හිටපු ශාමල්, ඒ තරගයෙදි යම් පසුබෑමක් දක්වන්න හේතුව මොකක් කියලද හිතන්නේ?
ඇත්තටම ඒ තරගය පස්වැනි වටය දක්වා ඇදෙයි කියලවත් අපි හිතුවේ නෑ. ශාමල් එක්ක ඒ තරගයට කී‍්‍රඩා කරපු කෙනා ලෝක කණිෂ්ට ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 91 වැනි ස්ථානයේ ඉන්නේ. අනික ශාමල් උසස් පෙළ විභාගයට පාඩම් කරමින් ඉන්න ගමන් තමයි මේ තරගාවලියට සහභාගී වුණේ. ඒ නිසා තරගය පැරදුනත් අපි හුගක් සතුටු වෙන්න  ඕන ශාමල් ඒ තරගය වට 5 ක් යනකන් ඇදගෙන ගිය එක ගැන.


හර්ෂණ ගොඩමාන්න ඇමරිකාවේ ඉදලා ලංකාවට එන්නේ ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වෙන්න විතරයි කියලා ඔබ කිව්වා. ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබගේ අදහස?
මේකයි අද එයා කි‍්‍රඩා කරපු විදිහෙන්ම තේරෙනවා ලංකාවේ වෙන කිසිම කී‍්‍රඩකයෙක්ට එයා ලඟටවත් එන්න බෑ කියලා. අනිත් කී‍්‍රඩකයන් එක්ක බලනකොට එයා හුගක් ඉහළ මට්මක ඉන්නේ. එයා 5 වතාවක් ලංකාවේ ජාතික ශූරයා වෙලා තියෙනවා. තවදුරටත් ලංකාවේ කී‍්‍රඩකයන් එක්ක සෙල්ලම් කරන එයාට තේරුමක් නැති වැඩක්. එත් එයා ඇමරිකාවේදි සෙල්ලම් කරලා ඬේවිස් කුසලාන තරගාවලිය තියනකොට ලංකාවට ඇවිල්ලා තරග දිනවලා දීලා ආපසු යනවා.


හැමදාමත් II කාණ්ඩයේ ඉන්නමද කල්පනාව, I කාණ්ඩයට යන්න උත්සහ කරන්නේ එහෙම නැද්ද?
අපි පුළුවන් හැම උත්සහයක්ම ගන්නවා I කාණ්ඩයට යන්න. එත් ඉතින් මොනව කරන්නත් අපිට ඉන්නේ මේ කී‍්‍රඩකයෝ ටිකම තමා. අපිට වෘතිමය වශයෙන් ටෙනිස් ගහන කී‍්‍රඩකයන් නැති එක ලොකු පාඩුවක්.  


ලංකාවේ වෘතිමය ටෙනිස් කී‍්‍රඩකයන් හදන්න මොනවා කරන්න ඕන කියලද ඔබ හිතන්නේ?
ඒක ඉතින් හුගක් අමාරු වැඩක්. අපිට ඉන්නේ අනුග‍්‍රහකයෝ හරිම ටික දෙනයි. ඒ නිසා අපි තව අනුග‍්‍රාහකයෝ හොයාගන්න ඕනේ. ඒ වගේම තමා ටෙනිස් සංගමයෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න  ඕනේ.


මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව දෙනකොට ඔබට ටෙනිස් සංගමයෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
විශේෂ මුකුත් නෑ. තරගාවලිය සංවිධානය කරනවා හැරුණාම කී‍්‍රඩාංගණ දෙනවා, පන්දු දෙනවා. එච්චර තමයි ඉතින්. එයාලට පුළුවන් විදිහට සහයෝගය දෙනවා.


කලෙකට පස්සේ ලංකාවේදි ඬේවිස් කුසලාන තරගාවලියක් දිනපු පළවෙනි අවස්ථාව මේක වුණාට මීට කලින් විදෙස් රටවලිදී තරගාවලි ජයග‍්‍රහණ අත්කරගෙන තියෙනවා නේද?
ඔව් එහෙම දිනලා දියෙනවා


ඒවගේ ජයග‍්‍රහණ අත්කරගෙන ආපසු ලංකාවට ආවහම විශේෂ සැලකිලි, වරප‍්‍රසාද එහෙම ලැබිලා තියෙනවාද?
එහෙම නම් ලැබිලා නෑ ඉතින්. ඒ ගැන කථා කරලත් වැඩක් නෑ. කී‍්‍රඩාවට තියෙන ආදරේ නිසා රස්සාවෙනුත් නිවාඩු අරන් තමා මං මේ තරගාවලියට සහභාගි වෙන්නෙ.  


සමස්තයක් විදිහට ගත්තාම මේ තරගාවලිය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
මට ගොඩක් සන්තෝසයි. මේ වගේ තරගාවලියක් ලංකාවේදි දිනන්න පුළුවන් වුණ එක ගැන. මොකද අපි විදෙස් රටවල ගිහින් තරගාවලි දිනලා එනකොට මෙහෙ ඉන්න ගොඩක් අය ඒ ගැන දන්නෙවත් නෑ. එත් මේ පාර අපි දිනපු හැටි හුග දෙනෙක් දැක්කා. ඒක තමා මට තියෙන ලොකුම සතුට.


ටෙනිස් කී‍්‍රඩාව සම්බන්ධයෙන් තියෙන අනාගත බලාපොරොත්තුව මොකක්ද?
ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මේ වගේ තරග දිනන හැටි දැකලා නවක කී‍්‍රඩකයනුත් ජ්‍යෙෂ්ඨයන්ගේ අඩි පාරේ ගිහින් ලංකාවට තවත් ජයග‍්‍රහණය අත්කර දෙනවා දකින එක තමා මගේ එකම බලාපොරොත්තුව.

 

 


අදහස් (0)

වෘත්තීය කී‍්‍රඩකයන් නැතිවීම විශාල අඩුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.