Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්මිත් - මාෂ් එංගලන්තයේ ඉවසීම පරීක්‍ෂා කරති

ස්මිත් - මාෂ් එංගලන්තයේ ඉවසීම පරීක්‍ෂා කරති

Nisanka Sandeepani - 2017 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයේ වාසිය දෙපසටම දෝලනය වෙද්දී සටන්කාමී අර්ධ ශතකයක් ලබාගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ ෂෝන් මාෂ් දෙදෙනා එක්ව එංගලන්ත පන්දු යවන්නන්ගේ ඉවසීම පරීක්‍ෂා කරමින් සිටියහ.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පළමු තරගයේදී එංගලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302 ක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ අද (24 වැනිදා) ක්‍රීඩාව නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියේය. 

ස්ටුවර්ට් බ්‍රෝඞ් හමුවේ ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ බැවින් සිවුවැනි කඩුල්ලත් ලකුණු 76 දී බිඳ වැටිණ. එහෙත් අංක 6 පිතිකරු ෂෝන් මාෂ් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වාගෙත් ස්ටීවන් ස්මිත් තරගය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු ගොඩනංවමින් සිටියේය. 

අටවැනි වරටත් ඕස්ට්‍රේලියානු පිලට කැඳවන ලද ෂෝන් මාෂ් මෙම තරගයේදී තමන්ගේ ස්ථානය ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටිමින්ම සිය නායකයාට අනගි සහයක් දුන්නේය. දිනය නිමා වන විට වමත් පිතිකරුවාගේ ලකුණු සංඛ්‍යාව 44 ක් වී තිබිණ. 

ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා වන නේතන් ලයන් කියන පරිදි තරගය මේ වන විට දෙපිලටම සමබර තත්ත්වයකට පත්ව තිබේ. 

“ඔය මැද්දේ ඉන්න දෙන්නාම මහ පුදුමාකාර දෙන්නෙක්. බොහෝ වෙලාවට මේ තරගයේ දෙවැනි ඉනිමේදී එංගලන්ත පිල අමාරුවේ දාන්න අපට පුළුවන් වෙයි” යයි ලයන් කියා තිබිණ. 

තරගයේ පළමු දිනය වූ ඊයේ බිඳ වැටුණේ කඩුලු 4 ක් පමණි. ඉතාමත් මන්දගාමී තරගයක් වූ ඊයේ දිනය පුරාම රැස්කෙරුණේ ලකුණු 196 ක් පමණි. එහෙත් අද තත්ත්වය ඊට සපුරාම වෙනස් විය. අද දින පෙරවරුවේ එක් අවස්ථාවක එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 කට 246 ක් ලෙසිනි. එහෙත් ලකුණු 56 ක් ඇතුළත එංගලන්ත පිලේ අවසන් කඩුලු 6 ම බිඳ වැටිණ. 

ජේම්ස් ඇන්ඩසන් හමුවේ පීටර් හැන්ස්කොම්බ් දැවී යාමත් සමගම ඕස්ට්‍රේලියානු ඉනිමේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 76 දී බිඳ වැටිණ. සුපුරුදු පරිදි කණ්ඩායම බේරාගැනීමේ කාරියට කර ගැසූ නායක ස්මිත් පන්දු 148 කට මුහුණ දෙමින් මහත් අධිෂ්ඨානශීලී අර්ධ ශතකයක් ලබාගත්තේ ඊට හතරේ පහර 6 ක් ඇතුළත් කරමිනි. එය ස්මිත්ගේ 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. 

 


අදහස් (0)

ස්මිත් - මාෂ් එංගලන්තයේ ඉවසීම පරීක්‍ෂා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.