Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයේදී බලාපොරොත්තු සහගතව

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයේදී බලාපොරොත්තු සහගතව

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සතියකට ඉහතදී පාකිස්තානයට එරෙහිව ලබාගත හැකිව තිබූ ජයග‍්‍රහණයක් පෙනි පෙනී ගිළිහී ගියද බංග්ලාදේශයේදී නැවතත් ටෙස්ට් දස්කම් අතරට අවතීර්ණ වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම බලාපොරොත්තුවෙයි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (27 වැනිදා) බංග්ලාදේශයේ මිර්පූර් නුවරදී ආරම්භ වේ.

පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනයේදී (පසුගිය සඳුදා)  ඕවර 57.3 කින් ලකුණු 302 ක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම තුන්වැනි තරගය ජයගනිමින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම නිසා ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මහත් වික්ෂිප්ත භාවයට පත්වූහ.

වසර ගණනාවක් තිස්සේ අන්තර්ජතික ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අතරේ ප‍්‍රසාද ලකුණු 100 ඉක්මවා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් පහළට ඇද වැටිණ. වසර 2010 ජූලි මාසයේදී මුත්තයියා මුරලිදරන් සමුගෙන යාමෙන් පසුව ටෙස්ට් තරග 32 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එයින් ජයගෙන ඇත්තේ තරග 6 ක් පමණි. තරග 12 ක් පරාජය වී තිබේ.

මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයට වැටී සිටින අතර මෙම ශ්‍රේණිගත සටහනේ 4 වැනි ස්ථානයෙන් පහළ සිටින කණ්ඩායම් දුර්වල කණ්ඩායම් සේ සැලකේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වඩාත් බලාපොරොත්තු තබා සිටින්නේ පරිණත පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාත්, ටෙස්ට් කඩුලූ 200 ඉක්මවා දවාගෙන සිටින වමතිත් දග පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් කෙරෙහිත්ය.

බංග්ලාදේශයේ පැවැති දේශපාලනික කලබල හේතුවෙන් මෙම සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් පැවැති නමුත් අවසානයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු තරගාවලියට කැමැත්ත ප‍්‍රකාශ කළහ.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 14 න් 13 කදීම ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇති අතර ඒවායින් තරග හතකදීම ශී‍්‍ර ලංකා පිල ඉනිමකින් ජයගගෙන තිබිණ. අවසන් වරට 2008-09 තරගවාරයේදී බංග්ලාදේශයේ සංචාරය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 107 කින් ජයගැනීමෙන් පසුව දෙවැනි තරගය ජයගත්තේ ලකුණු 465 කිනි. එසේ වුවත් මෙවර තරගාවලියේදීත් පහසුවෙන් ජයගත හැකි බව කීමට ශී‍්‍ර ලංකා නායකයා ඉදිරිපත් නොවීය.

”අතීතයේදී අපි ජයගත්තා වෙන්නට පුළුවන්. ඒත් මේ තරගාවලියෙදී අතීත වාර්තාව වැදගත් වෙන්නේ නෑ. අප හොඳින් කී‍්‍රඩා කළ යුතුයි” ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

”බංග්ලාදේශය කියන්නේ තමන්ගේ මවුබිමේදී පරාජය කරන්න අපහසු කණ්ඩායමක්. ඒ වගේම පසුගිය කාලයේදී ඔවුන් ඉතාමත් වේගයෙන් දියුණු වුණා”
”අප කිසිම ආකාරයකින් ඔවුන්ව සැහැල්ලූවට ගන්නේ නෑ. මේ තරගාවලිය දිනන්න නම් අප හොඳින් කී‍්‍රඩා කරන්න  ඕනෑ” යයි ඩකාහි ෂෙර්ඊ බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස් වාර්තාකරුවන්ට පැවසීය.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී බංග්ලාදේශය සිටින්නේ සිම්බාබ්වේ පිලටත් පහළින්, 10 වැනි ස්ථානයේය. වසර 2000 දී ටෙස්ට් වරම් හිමිකරගත් බංග්ලාදේශය ටෙස්ට් තරග 81 කින් 67 ක් පරාජය වී තිබෙන අතර තරග 4 ක් පමණක් ජයගෙන තිබේ. එම ජයග‍්‍රහණ වාර්තා වූයේ කී‍්‍රඩකයන්ගේ කැරලි ගැසීම් නිසා ඉතාමත් දුර්වල මට්ටමට වැටුණු බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිවය.

මේ අතර බංග්ලාදේශ පිලේ දක්‍ෂතම දග පන්දු යවන්නා වන සකිබ් අල් හසන් පවසන්නේ තරගාවලිය පැවැත්වෙන්නේ ආසියාතික කණ්ඩායම් දෙකක් අතර වන හෙයින් දග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරු වලින් පලක් නොවන බවයි.
” ඕනෑම කණ්ඩායමකට එරෙහිව හොඳින් කී‍්‍රඩා කරන්න තරම් අපට දැන් අත්දැකීම් තිබෙනවා” යයිද සකීබ් අල් හසන් පවසයි.

බංග්ලාදේශ කණ්ඩායමට ආරම්භක පිතිකරු ඉම්රුල් කායිස් සහ නවක පිතිකරුවකු වන ෂම්සුර් රහ්මන් කැඳවා ඇතත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක සොහාග් ගාසි වෙතය. නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී ශතකයක් ලබාගත් ගාසි එම තරගයේදීම කඩුලූ ති‍්‍රත්වයක්ද ලබාගැනීම නිසා විශාල අවධානයක් දිනාගත්තේය.


ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, නුවන් ප‍්‍රදීප්, විශ්ව ප‍්‍රනාන්දු සහ අජන්ත මෙන්ඩිස්


බංග්ලාදේශ සංචිතය
මුශ්ෆිකුර් රහීම් (නායක), ටමීම් ඉක්බාල්, මාෂල් අයුබ්, සකිබ් අල් හසන්, නසීර් හොසේන්, මොමිනුල් හක්, ශම්සුර් රහ්මන්, මොහොමඞ් මහමදුල්ලා, ඉම්රුල් කායිස්, අබ්දුර් රසාක්, සොහාග් ගාසි, රොබිඋල් ඉස්ලාම්, රුබෙල් හොසේන් සහ අල් අමීන් හුසේන්

 


ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම


          රට                ප‍්‍රසාද ලකුණු
1.    දකුණු අප‍්‍රිකාව           133
2.    ඉන්දියාව                   117
3.      ඕස්ටේ‍්‍රලියාව            111
4.     එංගලන්තය              107
5.    පාකිස්තානය              100
6.    ශ්‍රී ලංකාව                   90
7.    බ.ඉ.කො.                   87
8.    නවසීලන්තය              82
9.    සිම්බාබ්වේ                 34
10.    බංග්ලාදේශය            18

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයේදී බලාපොරොත්තු සහගතව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.