Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සියවස සමරයි

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සියවස සමරයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 


ආසියාවේ දෙවැනි පැරණිතම ටෙනිස් සංගමය වන ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට මේ වසරේදී වසර 100 ක් සම්පූර්ණ වෙයි.

බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන පී. එෆ්. හැඩෝ, ෆොන්බ්ලාන්ක් සහ සී. එච්. ඒ. රොස් යන මහත්වරුන් එක්ව 1868 වසරේදී ශ‍්‍රී ලංකාවට ටෙනිස් ක‍්‍රීඩාව හඳුන්වා දුන්හ. 1915 වසරේදී ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය පිහිටුවන ලද අතර එහි මුල්ම සභාපතිවරයා ලෙස ශ‍්‍රීමත් රොබට් චාල්ස් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

සියවස් සැමරුමට සමගාමීව මේ වසර තුළදී ටෙනිස් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා විවිධ ක‍්‍රියාකාරකම් රැසක් සංවිධානය කිරීමටද ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය පියවර ගත් අතර ඉකුත්  පෙබරවාරි මාසයේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි කිහිපයක් පැවැත්වීම ඉන් ප‍්‍රධාන වේ.

එහිදී මුල් තරගාවලි තුන මෙරට දක්ෂතාවලින් පිරිපුන් ක‍්‍රීඩකයන්ට සිය දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට මනා වේදිකාවක් තනා දුන් අතර ඉන් අනතුරුව ජූලි මාසයේදී කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් තවත් තරගාවලි තුනක් පවත්වන ලදි.

එහි අවසාන අංගය වශයෙන් ඔක්තෝබර් මාසයේදී අවුරුදු 18 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ටෙනිස් සංගම් තරගාවලි මාලාවක්ද සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කටයුතු කළේය.

මෙම තරගාවලිවලට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර තරගකරුවන්, ඔවුන්ගේ දෙමාපියන් සහ පුහුණුකරුවන් ඇතුළු 120 කට අධික පිරිසක් දිවයිනට පැමිණියහ.

මෙය ශ‍්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට මෙන්ම ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලබාගැනීමටද මහඟු අවස්ථාවක් විය.

”ටෙනිස් ක‍්‍රීඩාව මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර තරුණ පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක්. ඒ නිසා මෙරට තරුණ තරුණියන්ටද ටෙනිස් ක‍්‍රීඩාවට පිවිසීමේ අවස්ථා පුළුල් කිරීම බෙහෙවින් වැදගත් වෙනවා.” ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා පැවසීය.

”මෑත කාලයේදී අපේ රටේ කි‍්‍රඩා ලෝලීන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර ටෙනිස් ක‍්‍රීඩාව ගැන උනන්දු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තරුණ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් බොහෝ දෙනෙක් මේ වනවිට ටෙනිස් ක‍්‍රීඩාවට පිවිසෙමින් සිටිනවා”

”නිසි අවස්ථා සහ සහයෝගය දෙනවා නම් ජාත්‍යන්තර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමග කරට කර සිටින්නත් අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හැකි වේවි. පසුගිය කාලයේ පැවති තරගාවලි වලදී අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හුගක් බලාපොරොත්තු තබාගත හැකි විදිහේ දස්කම් ප‍්‍රදර්ශනය කළා. පැහැදිලිවම මෙය ආරම්භයක් පමණයි.” යයිද ඉසාක් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාව තුළ ටෙනිස් ක‍්‍රීඩාව සම්බන්ධව ඇති උනන්දුව ඉහළ යාම නිසා ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය සමග අත්වැල් බැඳගෙන ජාත්‍යන්තර තලයට පිවිසෙමින්, ටෙනිස් ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා දායක වීමට රටේ පෞද්ගලික අංශයටත් හැකිවන බවද ඉසාක් මහතා තවදුරටත් කියා සිටියේය.

ශී‍්‍ර ලාංකිකයන් තුළ ටෙනිස් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් තිබූ උනන්දුව එදා සිට අද දක්වාම ඉහළ මට්ටමක පැවතුණු අතර 1990 වසරේදී සංගමයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ රජය සමරු මුද්දරයක්ද නිකුත් කළේය.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සියවස සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.