Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් රන් පදක්කම්

වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් රන් පදක්කම්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් තරග මාලා

1951 වසරේ ප‍්‍රථම වරට පැවති ජාතික වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාවය ගම්පහ සෙන්ට‍්‍රල් කණ්ඩායමත්, 1957 ආරම්භ වූ ජාතික කාන්තා වොලිබෝල් තරග මාලාවේ ප‍්‍රථම ශූරතාවය හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලත් 1951 ප‍්‍රථම පාසැල් වොලිබෝල් ශූරතාවය වැල්විටිතුරෙයි සිදම්බරම් මහා විදුහලත් හිමිකර ගන්නා ලදී. අවසන් වරට පැවති ජාතික වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාවය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියත්, කාන්තා ශූරතාවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් හිමිකරගෙන සිටියි. අතීතයේ පටන් රාජ්‍ය සේවා, ආරක්‍ෂක සේවා, වෙළඳ සේවා, ජනසතු සේවා සහ සයකොන් තරග මාලාවන්ට අමතරව ජනපති රන් කුසලාන, කප් විනර්ස් කප්, ගම්උදාව, යොවුන්පුර, මහවැලි වොලිබෝල්, තරුණ සේවා - රූපවාහිනී තරග මාලාව, DSI පාසැල්, ජාතික පාසැල්, වෙරළ වොලිබෝල් තරග මාලාවන් ද ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක විය. මෙහිදී 1980 දී අවිස්සාවේල්ල චන්ද්‍රා ක‍්‍රීඩා සමාජය ආරම්භ කරන ලද නිදහස් කුසලාන තරග මාලාව ශ‍්‍රී ලංකාවේ සුපිරිතම පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගීත්වයෙන් ශ‍්‍රී ලංකාවේ නිදහස් සමරුව නිමිත්තෙන් එදා සිට අද දක්වාම නොකඩවාම පවත්වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.


වෙරළ වොලිබෝල් තරග මාලා

1996 වසරේදී ඇට්ලන්ටා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ප‍්‍රථමවරට ඇතුලත් වූ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාව 1992 දී පැවති ප‍්‍රථම ජාතික වෙරළ වොලිබෝල් තරග මාලාවත් සමගම ශ‍්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාව ආරම්භ විය. 1992 ප‍්‍රථම ජාතික වොලිබෝල් ශූරතාවය ජාතික වෙරළ වොලිබෝල් තරගමාලවේ පිරිමි ශූරතාවය කාලික වසන්තප‍්‍රිය සහ එච්. ඒ. වික‍්‍රමරත්න යන ක‍්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා වරාය අධීකාරිය හිමිකරගත් අතර, 2000 වර්ෂයේදී ආරම්භ කරන ලද ප‍්‍රථම කාන්තා ජාතික තරගමාලාවේ ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මංගලිකා වසන්ති කුමාරි සහ කුමාරි වන්නිආරච්චි විසින් හිමිකර ගන්නා ලදී. 2003 වර්ෂයේ තායිලන්තයේ පැවති ආසියානු වෙරළ වොලිබෝල් තරගමාලාවට ප‍්‍රථමවරට ශ‍්‍රී ලංකාව සහභාගි වූ අතර, අද වනවිට පිරිමි කණ්ඩායම් 73 ක් ද කාන්තා කණ්ඩායම් 54 ක් ද වශයෙන් ජාත්‍යන්තර තරග මාලා 45 කට සහභාගි වී ඇත.

වෙරළ වොලිබෝල් ජාතික කණ්ඩායම සඳහා නායකයින් 05 දෙනෙක්ද නායිකාවන් 02 ක්ද මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් බිහිවී ඇති අතර, පුහුණකරුවන් 06 දෙනෙකු ශ‍්‍රී ලංකා කණ්ඩායම සඳහා තම දායකත්වය ලබාදී ඇත. ශ‍්‍රී ලංකාෙවේ ප‍්‍රථම වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ප‍්‍රසන්න උදය කුමාර මෙන්ම ධම්මික සිල්වා යන පුහුණුකරුවන් ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට මග පෙන්වූ පුහුණුකරුවන් වේ. මේ දක්වා ක‍්‍රීඩකයින් 20 ක් ද ක‍්‍රීඩිකාවන් 19 ක් ද ජාතික වෙරළ වොලිබෝල් කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 04 දෙනෙකු බැගින් යොවුන් කණ්ඩායම් නියෝජනය කර ඇත.

ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම ප‍්‍රථමවරට ජාත්‍යන්තර තරග මාලාවකට සහභාගි වූයේ 2003 වසරේදීය. එදා වෙරළ වොලිබෝල් කණ්ඩායමේ ක‍්‍රීඩා කල ගීතිකා ගුණවර්ධන අද වනවිටත් ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරමින් සිටියි.

රොෂාන් ධම්මික සිල්වා, ජූඞ් මහේෂ් පෙරේරා, වසන්ත රත්නපාල, පුබුදු ඒකනායක, අසංක ප‍්‍රදීප්, තක්‍ෂිලා නිරංජලී, ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා, සාගරී ගුණසිංහ ශ‍්‍රී ලංකාවට වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවෙන් කීර්තියක් අත්කරදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වේ. මහේෂ් පෙරේරා 2010  ඕමානයේ II වන ආසියානු වෙරළ වොලිබෝල් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ සමස්ථ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා කණ්ඩායමේ නායකත්වය දැරූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. 2014 චීනයේ පැවති සස යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවෙන් චාමික සඳරුවන් හා ඉසුරු මධුෂාන් ගේ ශ‍්‍රී ලංකා නියෝජනය ද ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවේ වැදගත් කඩඉමක් වේ.

2009 වර්ෂයේදී බංග්ලාදේශයේදී පැවති ආසියා - පැසිෆික් වෙරළ වොලිබෝල් තරග මාලාවේදී මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවේ ප‍්‍රථම ජාත්‍යන්තර පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකරදීමට සමත්විය. ගෲප් කපිතාන් පද්මන් ද කොස්තා එම අවස්ථාවේ කණ්ඩායමේ කළමනාකරු විය. එයට පසු 2011 ශ‍්‍රී ලංකාවේ පැවති ප‍්‍රථම දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් පිරිමි කණ්ඩායමේ මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල යන ක‍්‍රීඩකයන්ද කාන්තා කණ්ඩායමේ ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා නිරංජලී යන ක‍්‍රීඩිකාවන් ද ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් දිනාදී ගෞරවයක් හිමිකර දීමට සමත් විය. 2006 දෝහා කටාර් හිදී පැවති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව ප‍්‍රථම වරට වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවෙන් ආසියානු ක‍්‍රීඩා උළෙලක් නියෝජනය කල අතර, එයට පසු 2010 චීනය, 2014 දකුණු කොරියාවේ පැවති ආසියානු ක‍්‍රීඩා උළෙලයන්හිදී ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් සහභාගි වූහ. 2009 සිංගප්පූරුවේ පැවති ප‍්‍රථම ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල සහ 2014 චීනයේ පැවති II යොවුන් ක‍්‍රීඩා උළෙල සහ 2014 චීනයේ පැවති II වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ද ශ‍්‍රී ලංකාවේ යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි විය.

ජානක බටුගහගේ සහ ප‍්‍රභාත් මධුර ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය ජාත්‍යන්තර විනිසුරු අපේක්‍ෂක වෙරළ වොලිබෝල් විනිසුරුවන් වේ.

ශ‍්‍රී ලංකා වොලිබෝලයට සියවසක් සපිරෙන මේ අවස්ථාවේදී වොලිබෝල් නිජබිම වශයෙන් හඳුන්වා දියහැකි පාසැල් ක්‍ෂේත‍්‍රය කිසිවිටෙකත් අමතක කල නොහැකි වේ. 1952 දී වෛද්‍ය එච්. එස්. ආර්. ගුණවර්ධනයන්ගෙන් පටන්ගත් සමස්ථ ලංකා පාසැල් වොලිබෝල් 1984 දී සුනිල් ජයවීරයන්ගේ සංකල්පයක් අනුව ආරම්භ වුණු ජාතික පාසැල් ක‍්‍රීඩා ඇරඹීමත් සමගම පාසැල් තුළ 19 න් පහල, 17 න් පහළ සහ 15 න් පහළ වශයෙන් බාලක, බාලිකා දෙඅංශයෙන්ම අද දක්වා වොලිබෝල් ක‍්‍රීඩාව වාර්ෂිකව ක‍්‍රියාත්මක වේ. 1998 දී ඇරඹි ඞී.එස්.අයි. පාසැල් වොලිබෝල් තරගමාලාව වර්තමානයේ ශ‍්‍රී ලංකා යොවුන් සහ කණිෂ්ඨ කණ්ඩායම් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සපයන කම්හලක් බවට පත්ව ඇත.

වර්තමාන ශ‍්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් නියෝජනය කරන සියළුම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික පාසැල් සහ ඞී.එස්.අයි. වොලිබෝල් තුළින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වූවෝ වෙති. මේ නිසා ශ‍්‍රී ලංකා වොලිබෝල් සියවසක් පිරෙන මේ අවස්ථාවේදී වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ශ‍්‍රී ලංකා පාසැල් පද්ධතිය තුළ තාක්‍ෂණික වශයෙනුත් තරගකාරී බවිනුත් වර්ධනය කිරීම අධ්‍යපන අමාත්‍යතුමා ප‍්‍රමුඛ ක‍්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණක් වේ.

සුනිල් ජයවීර, ඔලිවියා ගමගේ, යූ. එල්. කරුණාරත්න, රංජිත් ජයතිලක, ලයනල් චන්ද්‍රසෝම, නිහාල් ප‍්‍රනාන්දු වැනි අධ්‍යාපන බලධාරීන් පාසැල් ව්‍යූහය තුළ වොලිබෝල් ක‍්‍රීඩාව නගා සිටුවීමට දායකවූවන් අතර ඉදිරියෙන් සිටියි. අතීතයේදී කොලොන්නාව බාලිකා, ඉබ්බාගමුව මැදි විදුහල, විග්නේෂ්වරන් මහා විද්‍යාලය (යාපනය), චිදම්බරම් මහා විද්‍යාලය (වැල්වැටිතුරෙයි), ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලය (හංවැල්ල), කුලියාපිටිය මැදි විදුහල, බණ්ඩාරනායක මහා විද්‍යාලය (ගම්පහ), පොතුපිටිය මහා විද්‍යාලය (කළුතර), දවිසමර මහා විද්‍යාලය (සීදුව), මාදම්පේ සේනානායන මධ්‍ය මහා විද්‍යාලය, නාන්නන්ඩිය දම්මිස්සර ජාතික පාසැල, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හුංගම විජයබා මහා විද්‍යාලය, දික්වැල්ල විජිත මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, ත‍්‍රීකුණාමලය මිහිඳුපුර විද්‍යාලය, සඳමඬුල්ල මහා විද්‍යාලය සහ ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය (අම්පාර), විවේකානන්දන් මහා විද්‍යාලය සහ මේමලේ දමිල විද්‍යාලය (බදුල්ල), ශාන්ත මැතිව් විද්‍යාලය සහ ලංකාගම කණිෂ්ඨ විද්‍යාලය (දෙනියාය), සීතාදේවී බාලිකා විද්‍යාලය (මහනුවර), පේරාදෙණිය මහා විද්‍යාලය සහ නාරම්මල මයුරපාද විද්‍යාලය වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැයට දායාද කළ විදුහල් මෙන්ම වොලිබෝල් ක‍්‍රීඩාවෙන් ජය කෙහෙලි නැංවූ පාසැල් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය 1952 වසරේදී සංවිධානය කරන ලද ප‍්‍රථම පාසැල් වොලිබෝල් තරග මාලාවේ ශූරතාවය යාපනය විග්නේෂ්වරන් විදුහල ද ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ලද ප‍්‍රථම ‘ලංකාදීප කුසලාන’ පාසැල් තරගමාලාවේ ශූරතාවය 1952 වසරේදී දිනාගනු ලැබුවේ වැල්විටිතුරෙයි විදම්බරම් විදුහල විසිනි.


●●●

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් රන් පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.