Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මෙසීට පාඩුවේ ඉන්න දෙන්න

මෙසීට පාඩුවේ ඉන්න දෙන්න

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී චිලී රාජ්‍ය කණ්ඩායමට පරාජයවීමේ හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට ලයනල් මෙසී තීරණය කිරීමෙන් පසුව ඔහුට පාඩුවේ ඉන්න ඉඩදෙන ලෙස ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා එරට රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

චිලී පිලත් ආජන්ටිනා පිලත් අතර පැවැති අවසන් තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට අසමත්වීම නිසා දඬුවම් පහර මගින් ජයග්‍රහණය තීන්දු කෙරිණ. එහෙත් අවසන් තරගයෙන් චිලී කණ්ඩායම ජයගත්තේ ලයනල් මෙසීගේ දඬුවම් පහර වැරැදීමේ හේතුවෙන් බව කියමින් ඔහු දැඩි විවේචනයට හසු කළ පුද්ගලයන්ව හෙළා දකින බවත් ලා රෙඞ් රේඩියෝව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මැරඩෝනා කීවේය.

ජීවිතයේ කිසිදිනෙක පාපන්දුවට පා පහරක් නොදුන් පුද්ගලයන් මේ පාපන්දු තරුවේ ක්‍රීඩා විලාසයේ වැරැදි දකින්නේ කෙලෙසදැයි 1986 පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේ ජයග්‍රහණය දක්වා ආජන්ටිනාව මෙහෙයවූ මැරඩෝනා ප්‍රශ්න කරයි.

කෝපා අමෙරිකා අවසන් තරගයෙන් ආජන්ටිනාව පරාජයට පත්වූ බව සැබෑවකි. එහෙත් මැරඩෝනා කියන්නේ, “මම මෙසීව සළකන්නේ ජයග්‍රාහකයෙක් හැටියටයි” කියාය.

ආජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායම සමග රැඳී සිටින ලෙස මෙසීගෙන් ඉල්ලා සිටින්නට වූ ආජන්ටිනා ජාතිකයන් සමග එක්වී මැරඩෝනා ඊට පෙර කෑ ගැසූවත් පසුව ඔහුගේ හඬ වෙනස් විය.

“අපි මෙසීට නිවාඩුවේ ඉන්න ඉඩදෙමු... ඔහු කීවේය.

“දැන් ඉඳලා අපිට එකමුතුවයි තීරණයක් ගන්න වෙන්නෙ. මෙසී කිව්වොත් මට තවදුරටත් ඉන්න ඕනෙ නෑ කියලා, එතකොට අපිට තව කණ්ඩායමක් හදන්න වෙනවා” යයිද මැරඩෝනා කියයි.

එපමණක් නොව 1993 වසරේ කෝපා අමෙරිකා පාපන්දු කිරුළ ජයගැනීමෙන් පසුව සිය ජාතික කණ්ඩායමට කිසිදු ප්‍රධාන පෙළේ ශූරතාවක් දිනාගැනීමට නොහැකිවීම ගැනද මැරඩෝනා එරට පාපන්දු සංගමයටත් දෙහි කැපුවේය.

“අපේ පාපන්දු සංගමය වැඩ කරන විදිහ බැලුවම අපියි වැරැද්ද කරල තියෙන්නෙ... ඒකනේ දැන් අපේ පාපන්දු ක්‍රීඩාවට මේ දේ වෙලා තියෙන්නෙ. අපිට දැන් ඒවට ණය ගෙවන්න වෙලා” ඔහු කීවේය.

කෙසේවෙතත් වත්මන් කණ්ඩායම ගැන මැරඩෝනා තම නොසතුට පළ කළේ මෑතකදී පිටවූ එක්තරා හඬ පටයකිනි. එම හඬ පටයෙන් හෙළිදරවු වූ පරිදි 1986 ලෝක කුසලානය ජයගත් කණ්ඩායම මෙසීගේ කණ්ඩායමට වඩා හොඳ බවය. ආන්දෝලනයට තුඩුදුන් ඒ හඬ පටයේ මැරඩෝනා සිය 1986 කණ්ඩායමේ සිටි සගයන්ට එසේ කියන අයුරු පැහැදිලිවම පටිගතවී තිබේ.

“අපි ගියේ චිලී කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි. අපි ගියේ ජර්මනිය පරාජය කරන්නයි.‘ මැරඩෝනා එසේ කියයි.

“ඔබ දන්නවා මං අදහස් කරන්නෙ ටීම් දෙක අතර ඇති වෙනස ගැන කියලා.”

ආජන්ටිනා ජාතික පාපන්දු පිල නියෝජනය කරමින් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා මෙසී බව ඇත්තය. ඔහු අන්තර්ජාතික තරග 113 කදී ගෝල් 55 ක්ම රැස් කිරිමට සමත්විය. එහෙත් ඔහුට කිසිදිනෙක ලොව ප්‍රධාන තලයේ පාපන්දු ශූරතාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට නොහැකිවිය.

2007 කෝපා අමෙරිකා තරගාවලියේදී බ්‍රසීලයට පරාජය වූ ආජන්ටිනාව, 2014 ලෝක කුසලාන තරගාවලියේදී ජර්මනිය හමුවේ පරාජයට පත්විය. 2015 සහ 2016 දෙවසරේදීම ඔවුන් කෝපා අමෙරිකානු තරගාවලියේදී චිලී රාජ්‍යය හමුවේ පරාජයට පත්විය.

“මම උපරිම උත්සාහ කළා.” මෙසී පරාජයෙන් පසුව කීවේය.

“අපි අවසන් මහ තරග 4 කටම ආවා. ඒත් ඒ එකක්වත් දිනාගන්න මට බැරිවුණා.... මම හැම පැත්තෙන්ම උත්සාහ කළා. මේ පරාජය අනිත් හැමෝටම වඩා මට දැනෙනවා. මොකද හැමෝටම වඩා අපේ කණ්ඩායම වෙනුවෙන් ශූරතාවක් දිනාගැනීමේ අවශ්‍යතාව තිබුණේ මටයි. ඒත් අවාසනාවකට ඒක සිද්ධවුණේ නෑ.” මෙසී එසේ කීවේ කඳුලු සලමිනි.

 


අදහස් (0)

මෙසීට පාඩුවේ ඉන්න දෙන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.