Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මෙඩලින් කඳුවැටියේ හැපී බිඳුණු සිහිනය

මෙඩලින් කඳුවැටියේ හැපී බිඳුණු සිහිනය

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

චපෙකොන්ස් පාපන්දු කණ්ඩායම කොලොම්බියාව බලා පියාසර කළේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ වසර 43 ක ඉතිහාසයේ සහභාගීවන විශාලතම තරගයට එක්වීමේ බලාපොරොත්තු හිතේ තුරුළු කරගෙනය.

බ්‍රසීලයේ අන්තර් සමාජ පාපන්දු පිටියේ සිවුවැනි කාණ්ඩයෙන් ඉහළට යාමට අසමත්ව සිටි මේ ක්‍රීඩා සමාජය 2009 වසරේ සිට හිටි හැටියේම බ්‍රසීල පාපන්දු තරග බිමේ පෙරළිකාර දස්කම් පෙන්නුම් කරන්නට පටන් ගත්තේය. අනතුරුව 2014 දී එරට ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ ක්‍රීඩා සමාජයක් බවට පත්වූ චපෙකොන්ස් ක්‍රීඩා සමාජය පසුගිය වසර කිහිපයේදී විස්මිත ජයග්‍රහණ රැසක්ම අත්පත් කරගත්තේ එරට ජාතික තලයේ කණ්ඩායමක් ලෙසත් නමක් දිනාගනිමිනි.

චපෙකොන්ස් පිලේ ආරක්ෂක ක්‍රීඩක ඇලන් රෂේල්

යුරෝපා පාපන්දු ලීගයට හැම අතින්ම සමාන දකුණු අමෙරිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම පාපන්දු තරගාවලිය වන සුදාමෙරිකාන් (දකුණු ඇමරිකානු) කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අදියරේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබූණේ 30 වැනිදාය. එහි දෙවැනි අදියර තව දින කිහිපයකින් ඇරැඹෙන අතර තරගාවලි ද්විත්වයම ජයගතහොත් දකුණු අමෙරිකාවේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ලිබර්ටේඩොරස් කුසලාන තරගාවලියේ දොරටු විවරවෙයි.

පළමු අදියරේ අවසන් මහ තරගය කරා පැමිණීම චපෙකොස්න් පාපන්දු පිලේ අසිරිමත් ගමන් මගක සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැකිව තිබිණ.

චපෙකොන්ස් පාපන්දු පිල දකිමින් සිටියේ ඒ සුන්දරතම සිහිනයයි. ඒත් සාඕ පාවොලෝ නුවරින් ගමන් ඇරැඹූ බොලිවියානු පෞද්ගලික සමාගමකට අයිති ගුවන්යානය ඒ සිහිනයත්, චපෙකොන්ස් කණ්ඩායමත් දෙකම කොලොම්බියාවේ මෙඩලින් කඳුවැටියේ හප්පා පොඩි පට්ටම් කර දැමුවේය. මිය ගිය 72 දෙනා අතර ක්‍රීඩකයෝ, පුහුණු කාර්ය මණ්ඩලයේ සගයෝ සහ ජනමාධ්‍යවේදීහු වෙති.

කෙසේ වෙතත් අඟහරුවාදා රාත්‍රිය වෙද්දී ජීවිත බේරාගැනීමට සමත්වූ තවත් අතලොස්සක් අතර චපෙකොන්ස් පිලේ ආරක්ෂක ක්‍රීඩක ඇලන් රෂේල් ද සිටින බව තහවුරු වී තිබිණි. 27 හැවිරිදි මේ තරුණ ක්‍රීඩකයාගේ තත්ත්වය තරමක් යහපත් බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

චපෙකොන්ස් කණ්ඩායමේ දැල් රකින්නා වන ජැක්සන් ෆෝමන් සහ භෞතචිකිත්සකවරයා වන රෆායල් ගොබාටෝ ද දිවි ගලවා ගත් අය අතර වෙතැයි තවත් වාර්තාවකින් කියැවෙයි. ජීවිත බේරාගත් 6 දෙනා අතර චපෙකොන්ස් පිලේ සාමාජිකයන් තිදෙනකු, ගුවන්යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු සහ පාපන්දු පිල සමග කොලොම්බියාව බලා ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකු සිටින බව පසුව  වාර්තා විය. අනතුරෙන් පසුව රෝහල්ගත කළ පුද්ගලයන් අතර පාපන්දු පිලේ තවත් දැල් රකින්නකු වූ ඩනිලෝ ද සිටි නමුත් අවාසනාවකට මෙන්ම ඔහු රෝහලේදී ජීවිතක්ෂයට පත්වූයේ ඉතා බරපතල තත්ත්වයෙන් සිටි බැවිනි.

මේ අවාසනාවන්ත ගුවන් අනතුරෙන් ජීවිත අහිමිවූ චපෙකොන්ස් පිලේ ක්‍රීඩකයන් වෙනුවෙන් දින 7 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ බ්‍රසීලියානු පාපන්දු සම්මේලනය සියලු පාපන්දු තරග අත්හිටුවීමට පියවර ගෙන තිබේ. බ්‍රසීල රජය ජාතික මට්ටමේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

දකුණු බ්‍රසීලයේ පිහිටා ඇති චපෙකොන්ස් ක්‍රීඩා සමාජයට අද පැවැත්වීමට නියමිතව තිබූ සුදාමෙරිකානු පාපන්දු අවසන් මහා තරගය පෙනුණේ ලොවක් වටින තරගයක් ලෙසිනි. මේ පුංචි ක්‍රීඩා සමාජයට එය ඉහටත් උඩින්ය.
එම කණ්ඩායමේ තරග කමිටු සභාපති ඬේවිඞ් ඩි නෙස් ඊයේ එරට ගුවන් විදුලියේ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ කීවේය.

“අපි එක පවුලේ අය වගේ හිටියේ...
ඉතා සතුටින් එකමුතුව ක්‍රීඩා කළා”

“අපි අපේ හීන හැබෑවක් බවට හරවා ගන්නයි යන්නේ...කියලා ගුවන්යානයට නගින්න කළින් එයාලා කිව්වා.
ඒත් ඒ හීන තවදුරටත් හීනයක් කරලා එයාලා අපෙන් සදහටම සමුගත්තා.” යයි චපෙකොන්ස් පිලේ තරග කමිටු සභාපති කීවේ හැඬූ කඳුලිනි.

ගුවන් අනතුරකින් පාපන්දු කණ්ඩායමක ඉරණම තීන්දු කළ අවස්ථා ඉතිහාසයේ ඇත්තේ ඉතා අතලොස්සකි.
1958 මියුනිච් ගුවන් අනතුර සිදුවෙද්දී මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායමත් එහි සිටියේය. ක්‍රීඩකයන් අට දෙනකුටම ඉන් ජීවිත අහිමිවිය. එයින් පුද්ගලයන් 23 දෙනකුට ජීවිත අහිමි විය.

1949 ටියුරින් හී සිදුවූ ගුවන් අනතුරකින් ටොරිනෝ පාපන්දු පිල එහෙම පිටින්ම ජීවිතක්ෂයට පත්විය.
1987 පැසිෆික් සාගරයේ කඩා වැටී මුහුදුබත් වූ ගුවන් යානයේ පෙරූවියානු පාපන්දු කණ්ඩායමක් වන ඇලියන්සා ලිමා පිලේ සියලුම ක්‍රීඩකයෝ සිටියහ.

1993 ගැබන් මුහුදට ඉහළින් පිපිරී ගිය ගුවන්යානයේ සිටි සැම්බියානු ජාතික පාපන්දු කණ්ඩායමට අත්වූයේ ද අවාසනාවන්ත ඉරණමක

 

චපෙකොන්ස් පිලේ පුහුණුකරුවා වන කායෝ ජූනියර් ...

ඇලන් රෂේල් රෝහල වෙත රැගෙන යමින් ...


- බී.බී.සී. අනුග්‍රහයෙනි

- (ඡායාරූප - ඒ.එෆ්.පී. සහ රොයිටර් අනුග්‍රහයෙනි)


අදහස් (0)

මෙඩලින් කඳුවැටියේ හැපී බිඳුණු සිහිනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.